යළි යළිත් කැලතෙන හංස විල : ශීලාචාර ශ්‍රී ලංකාව

1980 වසරේ තිරගත වූ හංස විලක් චිත්‍රපටිය යළිත් ප්‍රතිසංස්කරණය කර තිර ගත කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අවුරුදු 40 කට පසුවය. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කල හංස විලක් ලංකාවේ සිනමාව තුළ සංධිස්ථානයකි. විවාහක පුරුෂයකු වන නිශ්ශංකගේ හා විවාහක ගැහැණියක වන මිරැන්ඩාගේ ජීවිතය විනාශකාරී ලෙස වෙනස් කරවන්නේ පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අතර තිබූ රහස් සම්බන්ධතාවය එළිදරව් කිරීම මගිනි. අවසානයේ යථාර්තය හා ෆැන්ටසිය අතර අතරමංවන නිශ්ශංක අතින් සිදු වන්නේ මිනීමැරුමකි. මිනිසුන්ගේ පෞද්ගලික ලිංගික හා සංස්කෘතික ජීවිතයට ශීලාචාර යැයි කියනා මිත්‍යා සංකල්පයක් පදනම් කරගනිමින් අශීලාචාර ලෙස මැදිහත් වීමෙන් මිනිස් ජීවිතයට සිදුවන ඛේදවාචකය මෙම හංස විලක් චිත්‍රපටය එළිදරව් කරන බොහෝ වැදගත් කරුණු අතර එක් වැදගත් කරුණකි.

එදා මීට වසර 40කටත් වැඩි කාලයකට පෙර හංසවිලක් මගින් ධර්මසිරි බණ්ඩාරනායක මේ සදාචාර සංස්කෘතික පොලීසියත් එය නියෝජනය කරන බොරු කාර සමාජ ක්‍රමයත් විවේචනය කලද අද වන විට එකී සදාචාර, සංස්කෘතික ආධිපත්‍යය රාජ්‍යයේ සියළු අංශ පුරා පතුරුවා ඇත. නිශ්ශංක හා මිරැන්ඩා මෙන්ම රහස් සම්බන්ධයක් ආරම්භ කල හංවැල්ලේ හෝටල් කාමරයකදී මිරැන්ඩා හා නිශ්ශංකටත් වඩා ඛේදවාචකයකින් ජීවිතය අවසන් කල පොලිස් නිලධාරියාගේ හා ඒ හිස සුන් මළ කඳ හිමි තරුණියගේ කතාව අපට කියන්නේ මේ සදාචාර සංස්කෘතියක් කරපින්නා ගෙන යාමේ ඛේදාවාචකයයි.

එදා පොලීසිය මැදිහත් වීම මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත එළිදරව් කලද අද ඒ ආකාරයේ එළිදරව් කිරීම් සිදු කිරීම වළක්වා ඇත්තේ එකී පොලිස් මැදිහත්වීම් වැළැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් මූලික අයිතිවාසිකම් නඩු තීන්දුයි. නමුත් අද වක්‍රාකාරයෙන් මිරැන්ඩා හා නිශ්ශංකගේ ජීවිත වලට දැමූ සෙල්ලම දැමීමට පොලීසිය කටයුතු කරන බව පෙනේ. ඒ සඳහා ධෛර්යය සපයන්නේද පොලීසියටත් එහා ගොස් විමර්ශනාත්මක වාර්තා සපයන්නේද මේ රටේ සිව්වන ආණ්ඩුව වන ජනමාධ්‍ය ආයතන සමූහයයි. එදා මිරැන්ඩාට හා නිශ්ශංකව එළිදරව් කරන්නේ සිය පවුලට වුවද අද අපගේ සුවිශේෂී ජනමාධ්‍ය සමූහය නිසා එවන් එළිදරව් කිරීම් සමස්ත සමාජයටම සිදු කිරීමට හැකියාව ලැබී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේද ඒ සදහා ලැබෙන්නේ නොමද දිරියකි. ඒ කොතරම්ද යත් දරුවන්ටවත් පෙන්වන්න එපා කියූ පොලිස් නිලධාරියාගේ ලිපිය දින දෙක යනවිට මුළු සකල දේශවාසී ශ්‍රී ලාංකිකයෝ දැන ගත්හ.

හිස සුන් මළ කඳේ කතාවටත් වඩා වේගයෙන් ව්‍යාප්ත වුනේ ප්‍රේම සම්බන්ධතාවයක කතාවයි. මීට පෙර පන්නිපිටියේදී ගෙල වැළලාගෙන මියැදුනු නවක නළුවාගේ කතාවටද ඈදුනේ ප්‍රේම සම්බන්ධතාවයකි.  ඕනෑම සමාජයක ඛේදවාචකයක් විය යුතු සියදිවි නසා ගැනීම් වලදී ලංකාවේ සමාජය ආමන්ත්‍රණය කරන්නේ ප්‍රේම සම්බන්ධතාවයක් වෙතය. හංස විලක් හි මිරැන්ඩා හා නිශ්ශංක සිය ලිංගික සුවය අත්විඳින හෝටල් කාමරයට කඩා වදින පොලිස් නිලධාරීන්ගේ හා එකී පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීන්ගේ මුහුණුවල නිරූපනය කරන අනුන්ගේ පෞද්ගලික ජීවිතය හාරාඅවුස්සා ගැනීමෙන් ලබන සන්තෝෂය වැනි සන්තෝෂයක් ලංකාවේ බහුතර ජනයා හංස විලක් තිරගත වී වසර 40කටත් වඩා වැඩි කාලයකට පසුවත් විශේෂයෙන් නවීන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය අන්තර්ජාලය දියුණු වී ඇති මේ යුගයේත් ලබන බවනම් පැහැදිලිය. ජනමාධ්‍ය නියෝජනය කරන්නේ එයයි. ජනතාව ආස දේ මාකට් කිරීමයි. පෝන් මූවීස් තමන්ගේ දුරකතනයටම සමීප වී ඇතත් පෝන් මූවීස් බලනවාටත් වඩා වැඩි වින්දනයක් ලංකාවේ ජනයා අනුන්ගේ පෞද්ගලික ජීවිතයට එබී බැලීමෙන් ගන්නා බව නම් සැක නැත.

හංස විලක් හි නිශ්ශංක හා මිරැන්ඩාටත් වඩා සදාචාර අවියෙන් වෙඩි තැබීමට මේ වන විට ලංකාවේ සමාජය සූදානම් කර ඇත. ඉස්ලාම් මූලධර්මවාදයට විවේචනය කරමින් ඔවුන්ගේ පසුගාමී ඇඳුම් පැළදුම් ඇතුළු සංකල්පයන්ට විවේචන ඉිදිරිපත් කරමින් හෙමින් හෙමින් වඩා සදාචාර යැයි කියනා සමාජයක් ගොඩ නැගීමට ලාංකේය භික්ෂුව ඇතුළු ජාතික ව්‍යාපාර සමත් වී තිබේ. සුප්‍රසිද්ධ බටහිර ගායකයකුගේ ලංකාවේ පැවැති ප්‍රසංගයක තරුණියක් සිය ඇඳුමක් විසි කිරීම පිළිබඳ මුළු රට පුරාම සංවාද වන්නේත් කාන්තාවන් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම පිළිබඳ සදාචාර සාකච්ඡාවක් ජාතික පුවත්පත් වල ආරම්භ කරන්නේත් ගරු කටයුතු යැයි කියනා භික්ෂූන් සිය සියළුම ධර්ම දේශනා වල කාන්තා ඇඳුම් මාතෘකාවක් කර ගන්නේත් මේ සදාචාර සාකච්ඡාව පෝෂණය කිරීමටය. එකී සදාචාර සාකච්ඡාවේ අස්වැන්න දැන් අපට ලැබෙමින් තිබේ. එදා හංස විලක් හි රාජ්‍යය විසින් සිය පෞද්ගලික ජීවිතයන්ට මැදිහත් වීමට එරෙහිව යම් සංවාදයක් මතු වුවද වර්තමානයේ ශ්‍රී ලංකාවේ බහුතර ජනයා තමාව පාලනය කිරීම තම ජීවිතයන්ට එබි බැලීමේ බලය ස්වකීය කැමැත්තෙන්ම රාජ්‍යයට ලබා දී ඇත. වර්ෂ 2019 ජනාධිපතිවරණ ප්‍රථිපලය තුළ විශේෂයෙන් ලංකාවේ ජනයා ඉල්ලා සිටියේ ජනයාව පාලනය කර ගත හැකි සංස්කෘතිය යැයි ජාතිවාදීන් කියනා යම් දෙයක් රැකිය හැකි පණ ඇති පාලනයකි. එනමුත් එක් එක් පුද්ගලයන් ලෙස ගත් කල ඒ සෑම පුද්ගලයකුම අපේක්ෂා කරන්නේ තමා නොව අනෙකාව පාලනය කරනු ඇත යන්නත් අනෙකාගේ සදාචාරය සකස් කරනු ඇත යන්නයි. කිසිවකුත් තමාව පාලනය කිරීමටත් තමාගේ පෞද්ගලික ජීවිතයටත් එබී බැලීම සම්බන්ධයෙන් කැමැත්තක් නැත. ඔවුන් වින්දනය ලබන්නේ රාජ්‍යය අනෙකාගේ සදාචාරය ගැන සොයා බලද්දීය.

අනෙකාගේ පෞද්ගලික ජීවිතයට රාජ්‍යය එබී බලන තෙක් බලා සිටින, අනෙකාගේ සදාචාරය සකස් කිරීමට මාධ්‍ය ආයතන මැදිහත් වන තෙක් බලා සිටින අපූරු ජනතාවක් අපට ලැබී ඇත. ඔවුන්ට සිහිය එන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතයට රාජ්‍යය එබී බලද්දීය. හංස විලක් හි මිරැන්ඩා හා නිශ්ශංකට වුනු සිද්ධිය ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් අද වන විට ඇතැමුන්ට සිදුවෙයි. හංස විලක් පිළිබඳ කතිකාව මේ මොහොතේදී වැදගත් වන්නේ ඒ නිසාය. හංස විලක් හි ප්‍රශ්න කරන බොරු සුචරිතවාදී සමාජය පිළිබඳ අප යළි යළිත් ප්‍රශ්න කල යුතුය. ලංකා සමාජය යළි යළිත් කලතවමින් ලෞකික සමාජයක් බිහි කර ගැනීම දක්වා අප ගමන් කළ යුතුය.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම විශේෂාංග