ලංකාවේ වන ගහනය අඩු වීමේ අවදානමක,… කඩිමුඩියේ හොර චක්‍රලේඛ

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට බලය පවරා ඇති රජයේ අවශේෂ කැලෑ යලි ප්‍රාදේශීය ලේකම්වරුන් ට හා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට පැවරීමට රජය කඩිමුඩියේ ක්‍රියා කරමින් සිටින බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ වන ගහනය සියයට 17 සිට සියයට 13 දක්වා අඩුවීමේ අවදානමක් ඇති බවත් පරිසරවේදීහු අනතුරු අගවති.

රජයේ අවශේෂ කැලෑ 05/2001 චක්‍රලේඛය මගින් එතෙක් ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට තිබූ බල සීමාව ඉවත් කරමින් එහි සංරක්ෂණය හා උන්නතිය සදහා වනසංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය ප්‍රකාරව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙන බවත් මහා මැතිවරණ කාලයේ කඩිමුඩියේ මෙම වන බිම්වල බලාධිකාරය යලි ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් යටතට පත් කිරීම සදහා හොර රහසේ චක්‍රලේඛයක් සකස් කර නීති ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔවුහු චෝදනා කරති. පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පැවසුවේ මෙම චක්‍රලේඛය නිකුත් වුවහොත් ශ්‍රී ලංකාවේ වන වියන සියයට 17 සිට සියයට 13 දක්වා අඩුවී වියලි කලාපීය ජනතාව ට අලුතින් ප්‍රශ්න ‍රැසක් නිර්මාණය කෙරෙන බවයි.

” මේ චක්‍රලේඛය ආණ්ඩුව විසින් ගෙන එන්නේ ආණ්ඩුව පසුගිය කාලයේ එක එක ආයෝජකයින් ට පොරොන්දු වූ ඉඩම් ලබා දෙන්න.මාගම්පුර වරාය හිමි චයිනා හාබර් එක එක්ක ගහපු ගිවිසුම අනුව අක්කර 15000ක් වරාය ආසන්නයෙන් දෙන්න පොරොන්දු වෙලාතියෙනවා.ඒ අයගේ කර්මාන්ත ශාලා සදහා.මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින්.ඒ විතරක් නෙමෙයි එම්.සී.සී ගිවිසුම අත්සන් කළාම ඒකට අවශ්‍ය ඉඩම් දෙන්නත් සිංගප්පුරු ආයෝජකයින් ට අක්කර 62000 ක් බිබිලෙන් දෙන්න ත් ,පැලවත්ත සීනි සමාගමට අක්කර 5000ක් දෙන්නත් මේ පවතින වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය අනුව බෑ.ඒක සංශෝධනය කරලා ඒ ටික දෙන්න තමයි මේ කඩිමුඩියේ ලෑස්ති වෙන්නේ.මේ රජයේ අවශේෂ කැලෑ ප්‍රමාණය ලංකාවේ මුලු වන වියනෙන් සියයට 4ක් පමණ වෙනවා. ඒක අහිමි වුණොත් විශේෂයෙන් ම කෘෂිකාර්මික ජනපදවල ජල අර්බුද ඇතිවෙන්න පුළුවන්. වර්තමානය වන විට උග්‍ර වෙලා තියෙන අලි මිනිස් ගැ‍ටුම් ඉතාම ඉහල අගයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ග්‍රාමීය පානීය ජල අවශ්‍යතාව හා ජලම් මූලාශ්‍ර අහිමි වෙලා යනවා. වැව් රක්ෂිත පමණක් නෙමෙයි වනජීවී කලාප ආසන්නයේ තිබෙන්නේත් වනජීවී කලාප යාකරන කලාපත් මේ රජයේ අවශේෂ කෑලෑ ප්‍රදේශ ඒවත් අහිමි වුණොත් වනජීවී කලාප වල උග්‍ර අර්බුද නිර්මාණය වෙනවා. විශේෂයෙන් ම මේ වන වියන්වල ගැවසේන අලි ඇතුන් ඇතුළු ශාක හා සත්ව ප්‍රජාව අහිමි වෙනවා. කලුගල් කැඩිලි,පස් කැපීම් වැලි කැනීම් මේ ප්‍රදේශ ආශ්‍රිත්ව බහුල වේවි. ඒ එල්ලවන ප්‍රශ්නවලින් පීඩා විදින්නේ අහිංසක දුප්පත් ජනතාව. ඒ නිසා පරිසරවේදීන් සියලු දෙනා මේ වෙලාවේ එක හඩින් කියා සිටිනවා මේ චක්‍රලේඛය ගේන්න එපා. 05/2001 චක්‍රලෙඛය  බලාත්මකව අඛණ්ඩව පවත්වාගෙන යන්න කියලා.”

කෙසේ වෙතත් මේ පිළිබදව වන සම්පත් සංරක්ෂකයින්ගේ වෘත්තීය සමිතිය ද සිය විරෝධය පළ කර ඇති අතර ඒ පිළිබදව ලිඛිතව ජනාධිපතිවරයාට වන සංරක්ෂක ජනරාල් ,බැසිල් රාජපක්ෂ මහතාට වනජීවී අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් වෙත ලිඛිතව දන්වා ඇති බව ද වනසම්පත් සංරක්ෂකයින්ගේ වෘත්තීය සංගමයේ ලේකම් ලලිත් ගමගේ මහතා අප සමග පැවසීය.

ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශය

ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශය

 

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම