ගුවන් තොටුපල කොරෝනා පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට 

ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයක් විසින් හෙළි කර තිබේ.

“ගුවන් තොටුපල රසායනාගාරයට එන සියලු මුදල් උපයන පරීක්ෂණ ටික එක පෞද්ගලික රෝහලක් ඉලක්ක කරගෙන එළියට යනවා. දේශපාලන හයිය පාවිච්චි කරනවා සමහරු.”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ඒ බව අනාවරණය කළේ මාර්තු 23 අඟහරුවාදා කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන රසායනාගාරය වසා දැමීමටත් වෙනත් ව්‍යාපාරික රසායනාගාර එහි ස්ථාපිත කිරීමටත්  ඇතමුන් උත්සාහ කරන බවටත් ඔහු එහිදී චෝදනා කළේය.

“විදේශ රසායනාගාරයක් දාලා ඒකට ඩොලර් තිස් පහක වගේ මුදලක් ගෙවන්න උත්සාහ කරනවා.”

ලංකාවේ දෛනික PCR පරීක්ෂණ සදහා මිලියන 80 ක මුදලක් වැය වන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගියදා  සිදු කර තිබෙන ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යක් බව පවසන සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කරන්නේ රජයේ රසායනාගාරවල සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය 2500- 3000  දක්වා කප්පාදු කර ඇති තත්වයක් යටතේ PCR පරීක්ෂණ සදහා මිලියන දහයක මුදලක්වත් වැය වීමට හේතුවක් නොමැති බවයි.

හොර පාරෙන් පෞද්ගලික රෝහලකට යවමින් සිටින ගුවන් මගීන්ගේ පරීක්ෂණ බණ්ඩාරනායක ගුවන් තොටුපල තුළ ඇති රසායනාගාරයට යොමු කිරීමෙන් පමණක් මිලියන දහයක පමණ  මුදලක්  උපයාගත හැකි බව වෘත්තිය වේදියා අවධාරණය කරයි.

” මිලියන 100 ක් වටිනා උපකරණයක් අද වෙන කොට ගුවන්තොටුපල රසායනාගාරයේ වේලෙනවා. ඒක පාව්චිචි කර ගන්න බැරුව. ඒක හයි කරගන්න බැරුව. ඒක සම්බන්ධයෙන් තිරණයක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ.”

ගුවන් මගින් 3000 -4000 ගේ PCR ප්‍රමාණයක් දෙදනිකව පෞද්ගලික රසායනාගාරයක් තුළ සිදු කරන බව පෙන්වා දෙන රවී කුමුදේශ් අවධාරණය කරන්නේ එහිදී එක් පරීක්ෂණයක් වෙනුවෙන් ඩොලර් පනහක මුදලක් වැය වන බවයි.

එම මුදල   රසායනාගාර සේවාවට ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කරමින් පුද්ගලික අංශයක් වෙත ලබාදීම විහිලුවක් බවයි ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේ.

Social Sharing
නවතම