ආණ්ඩුව ව්‍යාජ චිත්‍රයක් මවා පෑවද අවධානම තවදුරටත් ඉහළට!

මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම  කෝවිඩ්-19  ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි.  පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැගි බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ඒ අනුව, දකුනු ආසියානු කලාපය කොවිඩ්-19 වසංගතය ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ප්‍රදේශය බවට පත්ව ඇත.   කලාපය තුල මුලු ආසාදිතයින් ගනන ලක්ෂ හතර ඉක්මවයි. ඉන්දියාව කොරෝනා වෛරසයෙන් බැට කෑ රටවල් අතරින් හතරවන ස්ථානයට පැමින ඇත්තේ නිල ආසාදිතයින් ගනන 3,50,000  ඉක්මවමිනි. කොරෝනා මරන සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇත. පකිස්තානයෙන් ආසාදිතයන් ලක්ෂ 1.4 කට ආසන්න ගනනක් වාර්තාවන අතර, බංගලාදේශයේ ආසාදිතයින් ගනන 87,000 ඉක්මවා ඇත. එම රටවල සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ ගනන ඉතා අඩු නිසා වසංගතය ගැන සැබෑ තක්සේරුවක් ඇතිකරගත නොහැකිවන අතර තත්වය මීට වඩා දරුනු බව නිසැකය.  චීනය සහ නවසීලන්තය තුල වසංගතයේ නව රැල්ලක් පැන නැගී ඇතිබව ද, බෙයිජිනය නැවත අගුලු දමා ඇති බවද ඒ සමගම වාර්තා විය.

ලංකාව දූපතක් වුවද, ගෝලීය ආර්ථිකයේ ‌බලගතු ඒකාග්‍රවීම තුල මානව සංචරනය දැවැන්ත පරිමානව ඉහල නැගී ඇති තතු යටතේ, මෙම කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන්ගෙන්  ගැලවී සිටීමේ හැකියාවක් එයට නොමැත. එබැවින්, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගනු ලැබූ යම් සීමිත පියවර පවා ඉවත්කර ඇති කොන්දේසි යටතේ වසංගතය හිටිවනම මතුවී දහස් ගනන් ජීවිත බිලි ගැනීමේ බලගතු අන්තරායක් ලංකාව තුල පවතී.  කලාපය තුල වසංගත අන්තරාය මෙලෙස වර්ධනය වෙද්දී,  රාජපක්ෂ ආන්ඩුව අගුලු දැමීම ඉවත් කරමින්, එලැඹ ඇති “නව සාමාන්‍යය” යටතේ වැඩ කල යුතු බව මහජනතාවට කියා සිටී. “නව සාමාන්‍යය” යනු මරණය දෝතින් දරා ජීවත්වීම යි. ජූනි 11දා ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න කියා සිටියේ “අප්‍රේල් 30 වනදා සිට සමාජයෙන් ආසාදිතයින් වාර්තා වී නොමැති” බවයි. ආන්ඩුව කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට යොදාගත් අගුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට යොදාගනිමින් සිටින්නේ මෙම තර්කයයි.

රට තුල සාමාන්‍ය තත්වයක් ඇතිවී ඇති බවටත් කොරෝනා වසංගතය පාලනය කර ඇති බවටත් මවනුයේ ව්‍යාජ පින්තූරයකි. වෛද්‍ය විශේෂඥයන් පවසන ආකාරයට ලංකාවේ පී.සී.ආර් පරීක්ෂන සිදු කෙරී ඇත්තේ ඉතාමත්ම සීමිත ප්‍රමානයකි. එම නිසා මෙම ප්‍රකාශ පවා කිසිදු විශ්වාසනීය භාවයකින් තොරය. එක් දිනකදී සිදු කෙරුනු උපරිම පී.සී.ආර් පරීක්ෂන ගනන සටහන් වන්නේ 2086 ක් වැනි අඩු අගයකි. පසුගිය සතිය තුල දෛනික පරීක්ෂන වල සාමාන්‍ය අගය 2000 ට අඩුය. විශේෂඥයන් පවසන්නේ වසංගත ව්‍යාප්තිය පිලිබඳ යතා තක්සේරුවක් ඇතිකර ගැනීමටනම් දිනකදී සිදු කෙරෙන පරීක්ෂන ගනන අවම වසයෙන් 5,000 දක්වා ඉහල නැංවිය යුතු බවයි. ලංකාව තුල නාවික හමුදා පොකුර තවමත් නොවිසඳී සක්‍රීයව පැවතීම අවදානම් සහගත සාධකයක් ලෙස පවතී. මේ වන විට මුලු නාවික හමුදා ආසාදිතයින් ගනන 900 ට ආසන්නය. පසුගිය දින කිහිපය පුරාවටම නාවික හමුදාවෙන් ආසාදිතයින් හමුවිය. ජාත්‍යන්තර අත්දැකීම් අනුව ගත් කල වෛරසය පාලනය කල බවට සඳහන් කල රටවල් වල පවා අගුලු දැමීමේ කොන්දේසි ලිහිල් කල පසු යලිත් වරක් ආසාදිතයින් සීඝ්‍රයෙන් වාර්තා වීම් ඇරඹිනි.

රාජපක්ෂ ආන්ඩුව මේ වන විට සියලුම කර්මාන්ත ශාලා යලි විවෘත කිරීමට අවසර දී ඇත. සංචාරක කර්මාන්තය අගෝස්තු මාසයේදී යලි ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම ජූනි 29 වනදා සිට උසස් පෙල සිසුන් සඳහා පාසල් යලි ආරම්භ කෙරෙන බවට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කලේය. පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරේ. මේ සියලු ස්ථාන වල පවතින්නේ ආන්ඩු වල කප්පාදු පිලිවෙත් නිසා දුබල වූ යටිතල පහසුකම් ය. කම්හල්, පාසල් සහ පොදු ස්ථාන කොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීමට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් නොමැති තරම් ය. එමෙන්ම පොදු ප්‍රවාහන සේවා වල කායික දුරස්ථකරනය කිසිසේත්ම පවත්වාගත නොහැක. මෙම කොන්දේසි තුල කොරෝනා වෛරසය මතුවන ඕනෑම මොහොතක එය වේගයෙන් ව්‍යාප්තවනු නිසැක ය. එසේ පැවතියදී ආන්ඩුව විසින් නිර්මානය කරමින් සිටින ව්‍යාජ පින්තූරයේ වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ මහජනතාවගේ ජීවිත වලිනි. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, ජනමාධ්‍ය වල සහයෝගයද සහිතව,  කෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව තුල මුලුමනින්ම පාහේ පාලනය කර ඇති බව මවා පෑමට යත්න දරන නමුත්, ජාත්‍යන්තරව සිදුවන වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ අවදානම පහලගොස් නැතිබව පමනක් නොව, එය හිටිවනම දැවැන්ත පරිමානයකින් ඉහල යා හැකි බවයි.

Social Sharing
නවතම විශේෂාංග