මහර බන්ධනාගාරයේ මරණය ඝාතනයක්, ඇසින් දුටු සාක්ෂි සහිතයි!

මහර බන්ධනාගාරයේදී ඉසුරු කාවින්ද නම් තරුණයාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන බන්දුල ලියනාරච්චි යන අයව සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය හා එක්ව ආරක්ෂා කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස රාගම පොලීසියට වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග ලබා දුන් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

මහර බන්ධනාගාරයේදි මැයි 03 වෙනි දින මිය ගිය කඩවත පදිංචි ඉසුරු කාවින්ද තරුණයා බන්ධනාගාරයෙන් පැන යාමට උත්සහ කළ අවස්ථාවේ බිමට වැටි මිය ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණි. නමුත් මෙම රැඳවියාට පහර දී ඝාතනය කරන අයුරු එහි සිටි තවත් රැඳවියෙකු වූ බන්දුල ලියනාරච්චි විසින් දැක තිබුණි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු කැමැත්තෙන් සිටියද බන්ධනාගාර නිලධාරීන් විසින් එය වළකනු ලැබීය. මේ සම්බන්ධයෙන් නීතිඥ සේනක පෙරේරා මහතා වත්තල අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ මෙම ඇසින් දුටු සාක්ෂිකරුව 19 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව පොලොන්නරුව බන්ධනාගාරය මඟින් ඔහුව 19 වෙනි දින අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔහු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඇසින් දුටු සිද්ධියේ ප්‍රකාශයක් ලබා දී ඇත.

එම අවස්ථාවේ මොහු පැමිණිල්ලේ වැදගත් සාක්ෂියක් බැවින් මොහුව ආරක්ෂාව කරන ලෙස රාගම පොලිසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ අපරාධය ඉදිරියේදී හෙළිදරව් කර ගැනීම පහසු වනු ඇතැයිද බන්ධනාගාරයේ පහුගිය කාල වල වධහිංසාවන් සිදු වුවද නීතිය ක්‍රියාත්මක වීම බොහොම සෙමින් වු බවද නීතිඥ සේනක පෙරේරා මහතා කියා සිටියි. ඇතැම් විට බන්ධනාගාර නිලධාරීන් විසින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවද ඔහු පෙන්වා දෙයි. ඒ නිසා බොහෝ වධහිංසා, අපරාධ සැඟවී ගිය බවද ඔහු පවසයි.

 

Social Sharing
නවතම