ඇවිත් මාස 06 යි, මේ ආණ්ඩුව ඇමරිකාවටත් එහා ගිහින් – එරංග ගුණසේකර

මේ ආණ්ඩුවේ හිස ඔසවන අනීතික ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අයිතිය වෙත සිය අදහස් විග්‍රහ කර සිටියේ මෙසේය.

අනීතික ක්‍රියා

ගියවර තිබුනු පාලනය පිලිබඳ සමාජයේ නොයෙකුත් චෝදනා ඇති විය. විශේෂයෙන් නාඳුනන ඝාතන සිදු වීම, පාතාලය සක්‍රීය වීම සම්බන්ධයෙන් සමාජ කථිකාවතක් ඇති විය. ඊට බරපතල විවේචනයක්ද සමාජය ඇතුලෙන් මතු විය. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වීමේදි මතු කළ ප්‍රධාන කරුණක් වුයේ අනීතික ක්‍රියාකලාප සම්බන්ධයෙන් පැහැදිලි මැදිහත් වීමක් සිදු කරන බවය. ඒ වන විටත් සමාජයේ බොහෝ පිරිසක් තුල ඇති වෙමින් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවොත් මේක දවසෙන් දෙකෙන් ඉවර කරයි යන මතයකි.

මේ ආණ්ඩුව පත් වී මාස හයකටත් වැඩි කාලයක් ගත වී ඇත. ඒ තුලද පාතාල ක්‍රියාකාරකම් සහ අනීතික ක්‍රියාකාරකම් සමාජයේ ඉස්මතු වීමට පටන් ගෙන ඇති බව පෙනෙන්ට ඇත. කිසිදු හේතුවක් නොමැතිව පහර දෙන්න, ඝාතනය කරන්න පටන් ගෙන ඇත. මෑත කාලයේ සිදු වු ආසන්නතම සිදු වීම වුයේ ත්‍රිරෝද රථ වෘත්තිය සංගමයේ සභාපතිවරයා මහ දවල් පාර මැද පහර දී ඝාතනය කිරීමය.

එමෙන්ම ඇමරිකාව පදනම් කර ගත් වර්ගවාදයට එරෙහිව මනුෂ්‍යත්වය තමා ලෝකයේ පැවැත්ම යන්න ලොවපුරා උද්ඝෝෂණ, විරෝධතා මතු විය. ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට  අපේ රටේ පිරිසක් ද විරෝධතා දක්වද්දී මේ ආණ්ඩුව ඇමරිකාවටත් එහා ගිහින් ඉතා මිලේච්ඡ ආකාරයට ඒ විරෝධතා මර්ධනය කරන්න ගියේය. ඇමරිකන් තානාපති කාර්යාලය පවා මොවුන්ට විරෝධතා කරන්න අයිතියක් ඇති බව සඳහන් කළද මේ ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය අපි දැක්කෙමු.

ආණ්ඩුව සෞඛ්‍ය බලධාරීන්ගේ රෙදි ගලවයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය තුල සමාජයේ විවිධ සමාජ තල එනම්, ව්‍යාපාරිකයාගේ සිට ගොවියා දක්වාම දැවැන්ත ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කර තිබේ. ආණ්ඩුව කොවිඩ් තම දේශපාලන අරමුණු වෙනුවෙන් කළමණාකරණය කිරීමත්, සමහර තීන්දු තීරණ කොල කෑලි වලට, ගැසට් වලට, මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමා කිරීම ඇතුලේ සමාජයේ ප්‍රශ්න රැසක් මතු විය. ලීසිං ක්‍රියාවලියද එසේමය. එය ගැසැට්ටුවේ පමණක් ඇති අතර එය ලිසිං ආයතන පිලිබඳ නියාමනයක් කිරීමක් නොවන්නේය. ඒවායේ ගිවිසුම් ඇත්තේද ඉංග්‍රිසියෙනි. අපේ මිනිසුන් එහි ඇති කොන්දේසි ගැන දන්නේද නැත. මේ කොවිඩ් වසංගතය තුල ඒ වාරිකයන් ගෙවීමට නොහැකි වූ විට  රජය මැදිහත් වී ඊට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතුය. ඒ ආයතන වලට නිශ්චිත නියෝග දෙමින් ඔවුන්ගේ ක්‍රියාමාර්ග වලට යා නොදී මේ රටේ ජනතාව බේරා ගන්නේ කෙසේදැයි යන මැදිහත් විම කළ යුතුය. මේවා ගැසට් වලින් කළ නොහැකිය. එහි අවසානයේ ඛේදවාචකය වන්නේ වෘත්තිය සමිති නායකයෙකු මෙරටට අහිමි විමය.

උද්ඝෝෂණ වලට පහර දීමේ ක්‍රියාවලිය ගතහොත් එය ආණ්ඩුව පෙන්නුම් කරන්නේද කොවිඩ් වසංගතය තුල මේ තීරණය ගත් බවය. මෙරට සෞඛ්‍ය බලධාරීන් දෙන උපදෙස් වලට පටහැනිව යමින් මේ ආණ්ඩුව අමු අමුවේම ඔවුන්ගේ රෙදි ගලවා තිබේ. තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමඟුලේදී සිදු වු දෙය අප දුටුවෙමු. දවස් හයක් ගෙවුනේ මඟුල් ගෙයක් සමරන ආකාරයෙනි. එමෙන්ම ඔවුන් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාට කළ බලපෑමද අප දුටුවෙමු. මේවා ආණ්ඩුව දැන දැනම සිදු වු දේවල්ය. මේ පිලිබඳ අපට ඇත්තේ බරපතල විවේචනයකි. තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමඟුල සම්බන්ධයෙන්, ත්‍රිරෝද රථ වෘත්තිය සමිති නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය පුත් නාමල් රාජපක්ෂ විවිධ ප්‍රකාශ නිකුත් කර තිබුණි. ප්‍රකාශ නිකුත් කිරීම වරදක් නැත. නමුත් ඔහු කරන්නේද ප්‍රශ්න නැඟිමක්ය. ඔහුගේ පියා අගමැතිවරයාය. බාප්පා ජනාධිපතිවරයාය. මුලු පවුලේම මේ වන විට සියලු බලතල මධ්‍ය ගතව තිබෙන මොහොතක ඔහුත් ජනතාවට ප්‍රශ්නයක් නඟනවානම් මේ සිදුවන්නේ කුමක්ද?

මේ රටේ සියලු දෙනා ප්‍රගතිශීලී මිනිසුන්ය. විශේෂයෙන්ම මේ අනීතික ක්‍රියා මාර්ග නැඟිටීම වළක්වන්න, මෙය ආපස්සට යවන්න අපේ මැදිහත් වීමක් සිද්ධ විය යුතුයි යන්න මා සිතමි. ඔවුන් කරනකම් සිටිනවාට වඩා අපේ අරගලය, අපේ මැදිහත්වීම සුදුසු බව මා විශ්වාස කරමි.

ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම

අපි කැමති වුනත්, අකමැති වුනත් මේ පවතින සිස්ටම් එක ඇතුලේ ධනය, බලය තියෙන මිනිස්සුන්ට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. එය ඉතිහාසය පුරාම මෙන්ම මේ ආණ්ඩුව ඇතුලේද ඇත. නීතිය ක්‍රියාත්මක වන්නේ දුප්පත්, දුබල මිනිසාටය. සහල් මාෆියාව ඊට කදිම නිදසුනකි. ගෝඨාභය රජපක්ෂ මහතා විසින් පත් කළ හමුදාවේ විශ්‍රාමික නිලධාරියා පිටකොටුවේ සිටින පොඩි වෙලෙන්දාට දාන සද්දයයි ඔහු ඩඩ්ලි සිරිසේන මහතාගේ පිරිසට කථා කරන ආකාරයයි දුටු විට මෙහි වෙනස ඕනෑ කෙනෙකුට තේරුම් ගත හැකිය. ධනය, බලය ඇතුලේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. කෙනෙක්ගේ, පුද්ගලයෙක්ගේ ඇතුලේ මාරු වීමක් සිදු වෙයි කියා අප සිතුවාට එය එසේ වන්නේ නැත. 94 සිට සිදු වුයේ මෙයය. එසේ කියා අප පැත්තකට වී සිටිය යුතු නැත. නීතිය ක්‍රියාත්මක නොවන ඒ තැන් වලට බලපෑම කළ යුත්තේ ඔබය. ඒ අරගලය කළ යුත්තේ ඔබය. ප්‍රජාත්‍රන්තවාදයට සහ යහපත් දේශපාලන සංස්කෘතියකට මඟ කිව හැක්කේ ඒ තුලිනි. එසේ නොමැතිව ඔවුන් මෙය බන්දේසියක තබා දෙනු ඇතැයි අප කෙදිනකවත් විශ්වාස කරන්නේ නැත.

Social Sharing
නවතම සාකච්ඡා