ළමා නිවාසයේ අපචාරයට 12 අවුරුදු සිර දඬුවමක්!

දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන  ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමකට වරදකරු වූ අයකුට අධිකරණය විසින්  වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම්  නියම කර තිබේ.

පෞද්ගලික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිටි වයස අවුරුදු 16 ක බාලවයස්කාර  දැරියක් එම ළමා නිවාසයේ සිටි පුද්ගලයකු විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්  ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇත.

ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදු කළ විමර්ශනයකින් පසු, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ක් වන  සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මාර්තු 3 බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ විමර්ශන වලින් අනතුරුව, නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ  නඩුවක් ගොනු කළ බවයි.

“ගරු මහාධිකරණය විසින් නඩුව විභාග කොට සැකකරු වරදකරු කොට ඇත.”

එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතයාට අධිකරණය විසින් වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබෙන අතර, ඊට අමතරව රුපියල්  10,000 ක දඩ මුදලක් ද නියම කර තිබේ.

මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර දැරියට රුපියල් 250,000 ක වන්දි මුදලක් ගෙවීමට ද  වරදකරුට නියම කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ වැඩි දුරටත් සදහන් කරයි.

තවද, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වරදකරුට  තවදුරටත් වසර 4 ක  බරපතල සිර දඬුවම් ලබා දීමට ද  අධිකරණය නියම කර තිබේ.

ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීම සදහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය 1929 කෙටි දුරකථන ඇමතුම් අංකයක්ද හදුන්වා දී ඇත.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පසුගියදා හෙළි කර තිබුනේ ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තා වන බවයි.

ඡ‍ායාරූපය අන්තර්ජායනි….

Social Sharing
නවතම