දූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!

උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය  සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා  ඩොලර් මිලියන 12 ක  මෙම විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට්  හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි.

ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි  අදාල කොන්ත්‍රාත්තුව චීනයේ M/S Sinosoar – Etechwin Joint Venture  වෙත ලබා දීමට විදුලිබල බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කර තිබු යෝජනාවට පහුගිය ජනවාරි 18 දා කැබිනට් අනුමැතිය ලැබී තිබුණේය.

මේ සම්බන්ධව ප්‍රථමයෙන්ම විරෝධය පළ කර සිටියේ ඉන්දියාවය. ඒ ඉන්දියාවට කි.මී. 48ක් දුරින් ඇති ස්ථානයක චීන ව්‍යාපෘති ක්‍රියාත්මකවීම තම ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව පවසාය.

මේ අතර මේ දෙමුහුන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කර සිටියේ මේ ව්‍යාපෘති ගිවිසුම වහා රටට හෙළි කළ යුතු බවත් එමෙන්ම මෙහිදි ලබා ගන්නා විදුලි ඒ්කකයක මිල ප්‍රකාශයට පත් කරන ලෙසය.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසා තිබුණේ මේ දුපත් තුන චීනයට ලබා නොදිය යුතු අතර රජයට ආයෝජනය කිරීමට හැකිව තිබියදී මෙය චීනේට ලබා දීමෙන් සිදුවන්නේ රට අවධානමකට ලක් කිරීමක් බවය.

කෙසේ නමුදු මේ වන විට ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ අවධානයද මේ වෙත යොමු වී ඇත.

ඩෙල්ෆ් ඇතුළු දූපත්වලට දැනට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඩීසල් ජනන යන්ත්‍ර මගින් අඛණ්ඩව විදුලිය සපයනු ලබන නමුත් ඒකකයක මිල සමාන්‍ය මිලට වඩා වැඩි අගයකි. යෝජිත නව විදුලි ව්‍යාපෘතිය අනුව සූර්ය  බලශක්තිය හා සුලං බලය උපයෝගී කරගනිමින් දෙමුහුන් ජනන පද්ධතියක් හරහා ලාභදායී සැපයුමක් ලබාදීමට අපේක්ෂිතය. මේ සඳහා විදේශ මැදිහත් වීමක් යෝජනා කිරීමෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව වගකිව යුතු වෘත්තීය සංගමයක් ලෙස ඔවුන් මෙලෙස අවධානය යොමු කර තිබේ.

ඔවුන් පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ඉහළ ශ්‍රේණියේ ඉංජිනේරුමය ආයතනයක් වන අතර මේ වනවිට දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 65කට අධික පාරිභෝගිකයන් හට 3000MWට අධික ධාරිතාවකින් යුතු පද්ධතියක් හරහා ජාත්‍යන්තර මට්ටමේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙමින් සිටින බවය. එවැනි ආයතනයකට පාරිභෝගිකයන් 2000 කටත් අඩු පිරිසක් සිටින දූපත් සදහා 1 MWකටත් අඩු ධාරිතාවකින් යුතුව  විදුලිය සපයන පද්ධතියක කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් කිසිදු විදේශ රටක උපකාරයක් නොමැතිව සිදුකළ හැකි බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසා සිටියි.

වරලත් ඉංජිනේරුවන් වැඩි ප්‍රතිශතයක් ද ඇතුලුව ඉංජිනේරුවරු 1000 කට අධික ප්‍රමාණයක්ද  අධිකාරී වරුන් 1500 කට අධික සංඛ්‍යාවක්ද මනා පුහුණුවක් සහ අත්දැකීම් සහිත තාක්ෂණික සේවකයින් 8000 ක්ද පමණ සේවය කරන ලංවිම තුල මෙම ව්‍යාපෘතිය සඳහා සම්පත් නොමැති බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ලංවිම පාලනාධිකාරිය වෙනත් කූඨ උවමනාවක යෙදෙනබව පෙනෙන්නට තිබෙන බවත්  අවස්ථාවාදී සුළු පිරිසකගේ උවමනාවට මුළු රටම කලාපීය වශයෙන් අර්බූදයකට ඇද දමන්නේ නම් ඊට සියලු දේශපාලන නායකත්වයන්, ජනමාධ්‍ය සිවිල් සංවිධාන ඇතුලු සමස්ත ජනතාව එරෙහි විය යුතු බවත් එම සංගමය ප්‍රකාශ කර සිටියි.

වර්ථමාන ආණ්ඩුව ද අපහසුතාවයට පත් කරමින් සිදු කරනු ලබන මෙම කුමන්ත්‍රණය හේතුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව දිනාගත් රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයන් පලුදුවන ගැටලුවක් බවට මෙම කුඩා ව්‍යාපෘතිය තල්ලු වෙමින් පවතින බව පෙන්වා දෙන ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසන්නේ දැනටමත් ප්‍රධාන දූපත් වල පාරිභෝගිකයන්ට අඛණ්ඩ විදුලි සැපයුමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයමින් ඇති බවය.

දූපත් වාසී ජනතාවට අඩු මුදලකට විදුලි ඒකකයක් ලබාදීමට නම් ඩීසල් ජනන යන්ත්‍ර වලට අමතරව සූර්ය බල ශක්තිය හා සුලං බලය යොදාගනිමින් දෙමුහුන් විදුලිබල පද්ධතියක් ස්ථාපනය කළයුතු අතර එමගින් දැනට රුපියල් 50ක් පමණ වන ඒකක මිල රුපියල් 20 කටත් වඩා අඩු මුදලකට ලබා දිය හැකි බවත්  එය ලංකා විදුලිබල මණ්‌ඩලයට කළ නොහැකි සුවිශේෂී  ව්‍යාපෘතියක් නොවන බව තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය වශයෙන් වගකීමෙන් ප්‍රකාශ කර සිටියි.  එවැනි ප්‍රමාණයේ ව්‍යාපෘති හා ඊට විශාල ධාරිතාවෙන් යුතු ව්‍යාපෘති දැනටමත් ලංවිම විසින් සිදු කර ඇති අතර එම ශක්‍යතාව ඇති දේශීය සමාගම් ද ඇති බවත්  ශ්‍රී ලංකා මාතෘභූමියට අයත් දූපත් වල වෙසෙන ජනතාවට සාධාරණ මිලකට විදුලිය ලබා ගැනීමේ අයිතිය දඩමීමා කරගනිමින් එම දූපත් විදේශික අතපෙවීම් වලට යටත් කිරීමත් ඒ හරහා පටු ආර්ථික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට විවිධ කණ්ඩායම් දරන උත්සාහයට සහ මේ හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලයටද විදේශික බලපෑම් ඇති කිරීමේ වෑයම පරාජය කිරීමට තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය ලංවිම සියළු සේවකයින් හා එක්ව කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ඔවුන් අවධාරණය කර සිටියි.

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.ජී.ජයලාල් මහතාගේ අත්සනින් යුතුවය.

-ශානි-

පෙර ලිපිය බලන්න

ලංකාවේ දූපත් චීනයට, ඉංදියාවට මොනා වෙයිද?

Social Sharing
නවතම