සෞඛ්‍ය වෘත්තිකයින් හා සමාජය අතර ගැටුම් හදන්න එපා! – GMOA

කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

නිදසුනක් ලෙස රසායනාගාර සේවාව PCR පරීක්ෂණ තුලින් හඳුනාගෙන ඇති ‌කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව හා නිල වශයෙන් බලධාරීන් ප්‍රකාශ කරන ප්‍රමාණය අතර 5000 ක පමණ වෙනසක් ඇති බවත් මේ රෝගීන් 5000 ආගිය අතක් නැති බවට මාධ්‍ය මඟින් වාර්තා වී සති දෙකක කාලයක් ගියද අද වෙනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධව කිසිදු පැහැදිලි කිරිමක් රටට කර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ දත්ත අතර නොගැලපිමට හේතු තිබිය හැකි බැවින් එය තාක්ෂණිකව රටට විග්‍රහ කර පැහැදිලි කළේ නම් මේ සැක සංකා දුරකර, අවිශ්වාසය නැති කළ හැකි බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයත් ඉතාම පැහැදිලිව කියා තිබුණේ බිම්මට්ටමේ සිදුවන මරණ වලින් සැලකියයුතු ප්‍රමාණයක් සංඛ්‍යාලේඛන විදියට එළියට එන්නෙ නැති බවත් ඒ හරහා මතුවෙලා තියෙන තත්වය මත සෞඛ්‍ය වෘත්තිකයින් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බවත් එහිදී බරපතල ගැටලුකාරී තත්ත්ව සමාජය හා සෞඛ්‍ය  වෘත්තිකයින් අතර ඇති විය හැකි යැයිද ඔහු අනතුරු අඟවා සිටියි.

ඒ නිසා මේ සංඛ්‍යාලේඛන පරස්පරයන් සම්බන්ධයෙන් විධිමත්, නිවැරදි පැහැදිලි කිරීමක් වසංගතරෝග විද්‍යා අංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුතුව ඇති බවත් එය දවසින් දවස ප්‍රමාද වීම හරහා ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනු ඇතැයිද ඔහු අවධාරණය කර සිටියි.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දිනයේදීය.

-ශානි-

Social Sharing
නවතම