නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල 90% පමණ නැවත පළාත් පාලන ආයතනවලට?

මහ නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කැබිනට් පත්‍රිකාව ඉදිරි දිනකදී ඉදිරිපත් කෙරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදීය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සමඟ පවතින ගැටලු සහ කසළ කළමනාකරණය හා විගණනයට අවශ්‍යය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් මෙම හමුවේ දී අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත් කරන ලදී.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතනවල අදායම සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, මෙම ආයතනවල පවතින සේවක හිඟය අර්බුද රැසකට මුල් වී ඇති බවත් මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

2015 බලයට පත්වූ රජය විසින් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සියයට 90ක් පමණ නැවත පළාත් පාලන ආයතනවලට පවරා ඇතැයි මෙම හමුවේ දී හෙළිදරව් විය.

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි දැනුම් දී සිටි අතර ඒ ඒ පළාත් පාලන ආයතනවලට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අනිවාර්යෙන් එම ආයතනයේ නියෝජනයක් තිබිය යුතු යැයි අග්‍රාමාත්‍යතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ඒ අනුව මාර්තු 01 වැනිදා සිට කිසියම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අදාළ නිල හමුවීම් සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන් සම්බන්ධ කරගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.කේ රණවීර මහතා පැවැසීය.

-ශානි-

Social Sharing
නවතම