ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු..

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ රටවල් කිහිපයක් විසින් කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි.

නමුත්, ලංකාව තුළ ඊට ටිකක් වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන අතර, පසුගිය සති කිහිපය තුළ දිනකට වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණයත්, මිය යන අයගේ ප්‍රමාණයත් යම් කිසි මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන හේතුව ලෙස සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මැතකදී සොයාගනු ලැබූ බ්‍රිතාන්‍ය නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් තිබීම මීට හේතු විය හැකි බවයි. මෙම නව වෛරසය පැරණි වෛරසයට වඩා සියයට 56 ත් 75 ත් අතර වැඩි වේගයකින් ප‍්‍රජාව තුළ පැතිර යෑමේ අවධානමක් ඇති බව පැවසේ.

ඇමරිකාව, යුරෝපය, චීනය ඇතුලු රුසියාවත්, ලොව දෙවැනි ස්ථානයට වැඩිම කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් තවමත් වාර්තා කරන අසල්වැසි ඉන්දියාවත් මේ වන විට කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිශ්පාදනය කර තිබේ. ඉන් කොටසක් පසුගියදා අපේ රටට පරිත්‍යාගයක් ලෙස ලැබුන අතර, මේ වන විට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත ඒම එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

නමුත්, පසුගිය කාලය තුළ අප බලධාරීන්ගේ වැඩිපුර අවධානය යොමු වී තිබුනේ මෙවැනි එන්නතක් පිළිබදව නොව, වෙනත් මිත්‍යා ක්‍රියාකාරීත්වයන් මතය. මේ සදහා යම් දේශපාලණ බලයක් සහිත වෛද්‍යවරුන් කිහිපදෙනෙකු හා ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් පෙරට පැමිණ විද්‍යාවෙන් නොව මිත්‍යාවෙන් මෙම රෝගයෙන් වැලකී සිටීමට අපට හැකියාව ඇති බව කියා සිටියේ ය.

මුල් අවස්ථාවේ මෙම වසංගතයට ඉතා සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේම අවධානය දිනා ගෙන තිබුනි. ඉන් ඔලුව උදුම්මාගෙන කටයුතු කරනු ලැබීමත්, මෙසේ ඔලුව උදුම්මාගත් කිහිප දෙනෙකු විසින් කරනු ලැබූ මරි මෝල් ක්‍රියාමාර්ග කිහිපයක් හේතුවෙනුත් අප අද පවතින තත්වයට රට ඇද දමා තිබේ.

මෙම ඊනියා බුද්ධිමතුන් විසින් එක ගොංකමක් වසා ගන්න, තවත් ගොංකම් රාශියක් සිදු කරනු දක්නට ලැබීය. ගොං කතා ඇසීමට හා ගොං වැඩ කිරීමට රුචිකත්වයක් දක්වන පිරිසක් ඉලක්ක කරමින් මෙම ක්‍රියාවලිය දියත් වූ අතර, ඊට දේශපාලන සහාය ලබා ගැනීමට හැකි විය. මෙම තත්ත්වය උග්‍ර වූයේ ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක් එක්ව මෙම ක්‍රියාවලිය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම නිසාය.

දුම් මුට්ටි ඇල්ලීමෙන් පටන් ගත් මෙම ස්වදේශීක නාට්‍යාවලිය, පැං කලගෙඩි ගංගාවලට හෙලීම වැනි අග්‍රගන්‍ය කෙටි නාට්‍යවල සිට කොවිඩ් පැනිය වැනි මෙගා නාට්‍ය නිෂ්පාදනය දක්වා පරිවර්තනය කරනු ලැබීය. මෙම නාට්‍ය මාලාවේ දම්මික පැණිය නාට්‍ය ලංකාවේ ජනප්‍රියම මෙගා නාට්‍ය බවට පත්කිරීමට, දෙරණ හා හිරු මාධ්‍ය තම උපරිම ගුවන් කාලයක් මිඩංගු කළාය.

මෙම නාලිකාවන්ට පිංසිදු වෙන්නට බොරුවට හා මිත්‍යාවට සැමදා කැමැත්ත දක්වන නන්දෙසින් පැමිණි ප්‍රේක්ෂකයින් දින ගනන් පෝලිම්වල ලැග සිටිමින්, පොරකමින් රංඩු වෙමින්, සෞඛ්‍ය නිර්දේශයන් තඹයකට මායිම් නොකරමින් කටයුතු කරනු අයුරු අප දිනපතා ඉහත මාධ්‍ය හරහාම දුටුවෙමු.

ඉන් අනතුරුව ඉහත ජනතාවට පමණක් නොව බොරුව හා මිත්‍යාව වපුරන දේශපාලඥයින්ට මෙම නාට්‍ය නිශ්පාදකයින් විසින් පැණි පෙවීම ආරම්භ කරනු ලැබූ අතර, පොලීසිය, හමුදාවට පමණක් නොව පාර්ලිමේන්තුවේ කතානායක වරයා සිට, සෞඛ්‍ය ඇමති ඇතුලු මැති ඇමතිවරුන්ටත්, මහනායකවරුන්ටත්, ඇතුලු බොහෝ දෙනෙකුට මේ පැණි පොවනු ලැබීය. වැඩේ ටිකක් අවුල් වුයේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා වසංගතය වැලදීම හේතුවෙනි.

නමුත්, ඇමතිවරිය අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය ලබා නොගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය මේසන්බාස් විසින් සොයාගෙන ඊටත් විසදුම් ඉහත මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් ඊලග එපිසෝඩයට ලැහැස්ති වෙමින් සිටිය දී ඉන්දියාව සුපුරුදු පරිදි අපිට නැවතත් ගුවනින් පරිප්පු එව්වේය. ඒ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතයි.

අපි දුම්හට්ටි, පැං මුටිටි, දම්මික පැණි හරහා මිත්‍යාව පසුපස දිව යද්දී, අතීතයේ මිත්‍යාවේ ගැලී සිටි, අපටත් මිත්‍යාව තරමක් පොම්ප කළ අසල්වැසි ඉන්දියාව බටහිර වෛද්‍ය විද්‍යාව මත පදනම් වෙමින් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් ඒන්නත සොයාගෙන අප වෙත ඒවා තිබේ.

විවිධ දුෂ්කරතා හා අපහසුතා මධ්‍යයේ වුවත්, වසරකට ආසන්න කාලයක් තිස්සේ මුලු ලෝකයම කොවිඩ් 19 වසංගතයට විද්‍යාවෙන්ම පිළිතුරු සෙවීමට වෙහෙසෙද්දී, අපේ විශේෂඥයින් අවිද්‍යාවට මුල් තැන දෙමින්, නාථ, විශ්ණු දෙවියන් පසුපස ගොස් අන්තිමේ දී කාලි අම්මාගෙන් සල්ලං විය.

විද්‍යාව තවත් විෂයයක් ලෙස පමණක් භාවිතා කළ මෙරට ඊනියා බුද්ධිමතුන් එය ලෝක සත්‍යයක් ලෙස තවමත් පිළිගෙන නැති බව මින් නැවතත් තහවුරු කර තිබේ. මෙම ඊනියා වෛද්‍යවරුන් හා ආචාර්ය මහාචාර්ය පට්ටම් ලත් මිත්‍යාදුෂ්ඨිකයින් විසින් රඟ දැක්වූ නාටකය නිසා ඔවුන් පිළිබදව විශ්වාසය තැබූ යම් ජන කොට්ඨාශයක් මෙන්ම, අවසානයේ මේ රටේ සෞඛ්‍ය ඇමතිනිය ඇතුලු මැති ඇමතිවරුන්ද මෙම වසංගතයේ අවාසනාවන්ත ගොදුරු බවට පත් වූවාය. දැන් අප සියලුම දෙනාටම නැවතත් අත්තේ, නාථ හෝ කලිගේ ආරක්ෂාව නොව ‘මොදිගේ’ පිහිට හා ආරක්ෂාව පමණි.

-පිලිප් දිසානායක-

 

Social Sharing
නවතම විශේෂාංග