ජනපතිගේ මහ බැංකු වෙඩිල්ල තවත් පුස් වෙඩිල්ලක්ද?  – දුලාන් දසනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මහබැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කැඳවා බරපතළ දෝෂාරෝපණයක් සිදු කරන ලදී. එය සියලුම මාධ්‍ය විසින් මේ වන විට ප්‍රචාරය කර ඇත. ජනාධිපතිවරයාගේ වචන වල මෙන්ම මුහුණේද මහ බැංකු නිලධාරීන් කෙරෙහි තිබුණේ දැඩි කෝපයකි. මගේ දැනීමේ හැටියට මහබැංකුවේ අධිපතිවරයා ඇතුළු ඉහළතම නිලධාරීන් පිරිසක් ජනාධිපතිතුමාගේ කාර්යාලයට කැඳවා මේ ආකාරයට මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ බැණ වැදුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ඒ අතින් මෙය ඉතිහාසගත බැණ වැදීමකි.

ජනාධිපතිවරයා කියන ආකාරයටම මහ බැංකුවේ සිටින්නේ ලක්ෂ ගණන් පඩි ගන්නා ඉකොනොමිස්ට්ලාය. ඉහළ පඩි ගන්නා කණ්ඩායම් පිළිබඳ ලංකාවේ පොදු සමාජයේද ඇත්තේ යම් ආකාරයක වෛරී සහගත භාවයක් වුවත් ජනාධිපතිවරයා මේ අදහස කියූවේ ඒ අර්ථයෙන් නොවන්නට ඇත. එනමුත්  මේ බැණ වැදීම යම් ආකාරයකට ලංකාවේ පොදු සමාජය කුල්මත් කිරීමට සමත්ව ඇත.

ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා සිටින්නේ මේ ආකාරයට සමාජය මීඩියා මගින් කුල්මත් කිරීමටද යන්නයි. ජනාධීපතිවරයාගේ මේ දෝෂාරෝපණයන් නිවැරදි නම් ඊට අදාළ නිවැරදි කිරීම්ද යුහුසුළුව සිදු විය යුතුය. මේ අවස්ථාවේදීවත් එසේ අදාළ නිවැරදි කිරීම් සිදු වනු ඇතැයි බලාපොරොත්තුවෙන් අපි සිටිමු. මහ බැංකුව ඇතුළු තවත් රටේ ඉහළ පෙළේ ආයතන වල නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ විවේචනද ඕනෑතරම් ඇත. ඔවුන්ගේ දූෂිත බව පිළිබඳ විවේචනද ඕනෑ තරම්ය. ප්‍රශ්නය වන්නේ මේ දක්වා ඒවා මිඩියා ඉදිරියේ දිගහැර පොර වීම් හැර නිවැරදි කිරීම් නොමැති වීමය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය වෙලාවෙත් මහ බැංකු නිලධාරීන් සහය දුන් බවත් තමන්ගේ සාධාරණ ඉල්ලීමට සහය නොදෙන බවත් ජනාධීපතිවරයා මෙහිදී කීය. අපූරු කරුණ නම් හිටපු ඇමති රවී කරුණානායක මහතා මහ බැංකු නිලධාරීන්ට දොස් නැගීම ගැන අපමණ සතුටු වී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ පළ කිරීමයි. රවී කරුණානායක මහතාද මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බවට මහා ඝෝෂාවක් නැගුවේද ජනාධිපතිවරයාගේ දේශපාලන කණ්ඩායමයි.

ජනාධිපතිවරයාට මේ ආකාරයට මහබැංකු නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයක් එල්ල කිරීමට සිදු වූයේ ඇයි? ඔහුම පත් කල මහ බැංකු අධිපතිවරයාද සිටියදී ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මාධ්‍ය ඉවත් කොට මේ දෝෂාරෝපණය සිදු කල හැකිව තිබුණි. නමුත් මේ වන විට රට පුරා මතු වී ඇති තත්වය අවදානම්ය. ආර්ථික කටුතු ඇරඹීමත් සමගින් ආර්ථික අර්බුදයද මිනිසුන්ට දැනෙන්ට වී ඇත. ලීසිං හා ණය සහන යථාර්තයක් නොවන මට්ටමක් බිහි වී ඇත. ලීසිං සහන පිළීබඳ කතා කිරීමට ගිය ත්‍රී රෝද රථ සංගමයක නායකයකු මහමග දෙනෝ දාහක් ඉදිරිපිට මහ දවාලේ ඝාතනය කරනු ලැබීය. අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අහස උසටය. සීනි මිල රු. 150 පසුකලේ අධික වේගයෙනි. සහන මිලට ලබා දෙනවා යැයි ජනාධීපති තුමා ජාතිය අමතා කියූ පරිප්පු හා සැමන් මිල වගේ වගක් නැතිව ඉහළ ගොස් ඇත. මේ මැතිවරණයක් අස්සේ දිග්ගැස්සෙන ආර්ථික අර්බුදය තුළ මහජන විරෝධය එල්ල වීම වැළැක්විය නොහැක. එය සුපුරුදු පරිදි වඩාත්ම බලගතු වෘත්තීය සමිති ජාලයකින් සමන්විත සෞඛ්‍ය අංශයෙන් මේ වන විටත් ආරම්භ වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එයට එකතු වී ඇත.

මගේ වැඩපිළිවෙල නිලධාරීන් කරන්න දෙන්නේ නෑ වැනි සිරිසේන පන්නයේ උපායකට ජනාධීපතිවරයා පිවිසුණහොත් ජනාධිපතිවරයා අනාගතයේ දේශපාලන වශයෙන් අසරණ වීම වැළැක්විය නොහැක. මේ වන විටත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජනාධීපතිවරයාට බාධා කරන බවට වන මතයක් සමාජය තුළ පැළ කිරීමට ජනාධීපතිවරයාගේ දේශපාලන කණ්ඩායම් සමත් වී ඇත. ඒවා දේශපාලන වශයෙන් තිරසාර නොවේ. ජනතාවට අවසානයේ අවශ්‍ය වන්නේ බැරි කම කියන්නෙකු නොව වැඩ කරන්නෙකි. ජනතාව පත් කලේ වැඩ කරන විරුවෙකි.

ජනාධිපතිවරයා හාල් මෝල් හිමියන්ද ඇතුළුව විශාල රැස්වීමක් කැදවා මෙවැනිම කරුණු කියා පෑමක් සිදු කරන ලදී. එහි සිටි හමුදාවේ නිලධාරියෙක් පැවසුවේ අප සියල්ල පරීක්ෂා කර ඇති බවත් හාල් තොග ගබඩා කරගෙන සිටින බවත්ය. අවසානයේ හාල් මෝල් හිමියන්ට එරෙහි සටන ඩඩ්ලි සිරිසේනගෙන්ම නතර වුණි. මෝල් හිමියන්ට අවශ්‍ය ගාණට මිල තීරණය විය. පිටකොටුවේ සුළු වෙළෙන්දෙක්ට කණ හරහා පහරක් ගසමින් උපරිම මිල කියාදුන් පාරිභෝගික අධිකාරියට පත් කල හමුදා නිලධාරියා ඩඩ්ලි සිරිසේන ඉදිරියේ කුජීත විය.

ජනාධිපතිවරයා ආර් එම් වී එකට ගියේය. මුළු මහත් රටම දැනගෙන සිටි ආර් එම් වීයේ දූෂණ හා අකාර්යක්ෂමතා ජනාධිපතිවරයා සියැසින්ම දැක්කේය. උපදෙස් මාලාවක්ද නිකුත් කෙරුණි. මාධ්‍ය ඉදිරියේ අපූරු වික්‍රම මැවුණි. අදටත් ආර් එම් වීය එක අඩියක් ඉස්සරහට පැමිණ නැත.

මහ බැංකුවේ කතාවත් අවසානයේ විසඳෙන්නේ මේ ආකාරයට නම් තත්වය ඉතාම කණගාටුදායකය. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවන ආයතනය මේ ආකාරයට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ ඇසීමේ මට්ටමකට ඇද වැටී ඇත්නම් එය ඉතාම කණගාටුදායකය. මේ ප්‍රශ්න කෙරෙන්නේ රජයේ ආර්ථික වැඩසටහනයි. වෙන කිසිවක් නොවේ. හිටපු ජනාධීපතිවරයාද සිදු කලේ මේ ආකාරයේම කටයුත්තක් නොවේද?

ජනාධිපතිවරයාගේ ඇමති මණ්ඩලයේ එස්.එම් චන්ද්‍රසේන ඇමතිවරයා පරිසරයට සිදු කරන අති මහත් විනාශය පරිසර සංවිධාන මේ වන විටත් පෙන්වා දී ඇත. ජනාධීපතිවරයා ඒ සම්බන්ධයෙන් මේ ආකාරයට හබ අවදි කරන්නේ නැත. පස් වැලි ගල් ප්‍රවාහන බලපත්‍ර ප්‍රශ්නයේදීද ජනාධිපතිවරයා නිහඩය. ජනාධිපතිවරයා පත් වුනු සැනින් සුවිශේෂි පත් කිරීම් ගණනාවක් සිදු කරන ලදී. එසේ පත්කරන ලද්දන් මේ වන විට ඉල්ලා අස්වීම ආරම්භ කර ඇත. ජනාධිපතිවරයා එසේ ඉල්ලා අස්වීම් වලට හේතු සම්බන්ධයෙන්ද නිහඩය. රටේ මුදල් මණ්ඩලයට ස්වාධීන සාමාජිකයන් ලෙස ජනාධිපතිවරයා නම් කල නිහාල් ෆොන්සේකා හා ආචාර්ය දුෂ්නි වීරකොන් මේ වන විට ඉල්ලා අස් වී ඇත. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කල සජීව වීරවර්ණ ඉල්ලා අස්වූයේ ටෙන්ඩර් මගඩියක් ගැන සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරමිනි. ඒවා ගැන ජනාධිපතිවරයා නිහඩය.

ජනාධිපතිවරයා කියන පරිදිම රටේ ජනතාව ජනාධිපතිවරයාට ඉතා ඉහළ බලයක් ලබා දුන්නේ මේ රට හදන්නය. ජනතාව පත් කලේ වැඩ කරන විරුවෙකි. එය තවදුරටත් වලංගු වන්නේ මීඩියා ෂෝ වලින් ඔබ්බට ගොස් දොස් නිවැරදි කරමින් ඉදිරියට යද්දීය. ජනතාවගේ අසීමිත බලාපොරොත්තු බිඳ වැටෙන්නේ අධීක වේගයෙනි. මහ බැංකු කතාව දෙසත් අප බලා සිටිමු.

-දුලාන් දසනායක-

ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

Social Sharing
නවතම විශේෂාංග