කටින් බතල හිටවන්නේ නැතුව, පොහොර ගැටළුව විසඳන්න

ගොවියාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදි, රජයේ කිසිදු යාන්ත්‍රණයක් නොමැතිව බොරුවට මාධ්‍ය ඉදිරියට පැමිණ ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමතිවරයා කටින් බතල කොල සිටවුවාට වැඩක් නැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

රටේ පවතින පොහොර හිඟය හා ගැටලු සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය ඒ මහතා හා කළ සංවාදයකදි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. ඒ සම්බන්ධයෙන් ඒ මහතා වැඩිදුරටත් දක්වා සිටි අදහස් මෙසේය.

පොහොර හිඟය ගැන පරස්පර ප්‍රකාශ

පොහොර හිඟයක් ගැන මුල සිටම කියා සිටියේය. එවිට ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයා කියා සිටියේ අපි කියන්නේ බොරු බවය.  එහෙම පොහොර හිඟයක් ඇති වී නැති බව ඔහු පැවසුවේය. පසුව කෘෂිකර්ම හිටපු රාජ්‍ය ඇමතිවරයා පොහොර හිඟයක් තියෙන බව ප්‍රකාශ කළේය. එවිට නිලධාරින් කියා සිටියේ  පොහොර ප්‍රශ්නයක් නැති බවත් තිබෙන්නේ  බෙදා හැරීමේ ප්‍රශ්නයක් බවත් කියාය. පසුව ඔවුන්ම නැවත කියා සිටියේ පොහොර හිඟයක් තියෙනවා. ඒ හිඟය ඇති වි ඇත්තේ මිනිස්සු අසීමිතව වගා කරන නිසා බවය. පොහාර වැඩි මිලට විකුණන්න පොහොර සඟවලා, මෙතැන වෙන්නේ ජාවාරමක් කියා නැවත පසුව කියන්නට විය. ආණ්ඩුව මේ ආකාරයෙන් එකිනෙකට පරස්පර විරෝධි ප්‍රකාශ වරින් වර පොහොර සම්බන්ධයෙන් නිකුත් කළේය.

වගකීම භාර ගැනීම

ගිය යල කන්නයට සාපෙක්ෂව මෙවර වගා කිරීම මඳ වශයෙන් වැඩි වී ඇත. නමුත් මහ කන්නයට සාපෙක්ෂව වැඩි වී නොමැත. රජයක වගකීමක් වන්නේ වගා කරන බිම් ප්‍රමාණය, බීජ ප්‍රමාණය, ලබා ගත හැකි අස්වැන්න ප්‍රමාණය පිලිබඳ දළ අදහසක් තබා ගැනීමය. ඊට අවශ්‍ය පොහොර ප්‍රමාණය එවිට කල්තියා සුදානම් කර ගැනීම ආණ්ඩුවේ වගකීමය. නමුත් ආණ්ඩුව එය කළේ නැත. එසේනම් එහි වගකීම ආණ්ඩුව භාර ගත යුතුය.

පොහොර කියන්නේ නරක් වෙන දෙයක් නොවන අතර එය කල් තබා ගත හැකි දෙයකි. ආණ්ඩුවේ ඇති කළමණාකරණයේ බරපතල ප්‍රශ්නයක් නිසා අද මෙලෙස පොහොර ප්‍රශ්නයක් හට ගෙන තිබේ. උදාහරණයක් ලෙස දඹුල්ලේ ලොකු ලූණු වගා කරන ගොවියාට බීජ තවන් දමන විට මුලික මඩ පොහොර අවශ්‍යය. එය ලැබුණේ නැත. පැළ සිටුවන විට අවශ්‍යය. නමුත් ලැබුණේ නැත. ඔවුන්ගේ හැඳුනුම්පතට පොහොර මිටි දෙක බැගින් ලබා දිමට පියවර ගැනුණේ මේ ඊයේ පෙරේදා සිටය. නමුත් එසේවත් පොහොර ලැබෙන්නේ නැති ගොවියන් සිටිති. ආණ්ඩුව පොහොර හිඟයක් නැති බව පැවසුවද තවමත් ගොවියාට පොහොර ලැබෙන්නේ නැත. ඔවුන් වැඩි මිලට පොහොර මිලදි ගනිති. නොමිලේ දෙන පොහොර මිටි දෙක ලබා ගැනිමටද දවස් ගණන් රස්තියාදු වෙමින් පොලිම් වල සිටින්නේය. රණ්ඩු වන්නේය. ඒ නිසා වහාම ආණ්ඩුව මීට මැදිහත්ව විසඳුමක් ලබා දිය යුතුව ඇත.

ජනාධිපතිවරයාගේ තීරණය

මේ පොහොර ප්‍රශ්නයේදි ජනාධිපතිවරයා තදින් සිටින බව පෙනේ. එය හොඳය. නමුත් ජනාධිපතිවරයා මේ තීරණය ගනු ලැබුයේ ප්‍රමාද වීලාය. අප පොහොර ප්‍රශ්න ගැන කථා කළේ බොහෝ කල් සිටය. නමුත් එහිදි ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර ලැබුණේ නැත. මෙරට මුලික කරුණක් වන්නේ වගාවය. මුලු රටේම මේ උද්ඝෝෂණ පැන නැගෙද්දි, ප්‍රශ්න මතු වුනේය. නමුත් ජනාධිපතිවරයා තීරණ ගනු ලැබුයේ ප්‍රමාද වෙලාය. එහිදිද මේ පොහොර ගෙන්වන්නේ, බෙදා හරින්නේ කවුද යන පිලිබඳ ජනාධිපතිවරයාට නිසි වැටහීමක් තිබුණ බව අපට දැනුණේ නැත. එමෙන්ම ඔහු කියා සිටින්නේ හැකි තරම් කාබනික පොහොරට යොමු වෙන ලෙසය. සැබවින්ම අප වස විස වලින් මිදී විකල්ප කරා යොමු විය යුතුය. නමුත් මෙය ජනාධිපතිවරයා යෝජනා කර පමණක් සිටිම සෑහෙන්නේ නැත. අප කාබනික වගාවකට යාමට නම් ඊට අදාල පරිසරයට අප සැකසිය යුතුය. දැන් වගා බිම් රසායනික පොහොර යෙදීම නිසාම මැරී ගොස් ඇත. පාංශු ජිවින්, ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාවලිය අඩපණ වී ඇත. වස විස එතරමට පොළවට උරා ගෙන ඇත. ඒ නිසා මේ පොළව යළි සුවපත් කිරිමට නම් මේ රසායන පොහොර වලින් අප අත්මිදිය යුතුය. පසුව පසේ ඇති සාරවත් බව වැඩි දියුණු කළ යුතුය. වැඩි දියුණු කිරිමට නම් පස තුල ක්ෂුද්‍ර ජීවි ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු වේ. එසේ නම් අප ඒ සඳහා කාබනික ක්‍රියාවලියකට යා යුත්තේය. මෙය ගොවියාට තනිව කළ නොහැකිය. මේ කාල පරාසය ඇතුලේ ගොවියාගේ අස්වැන්න අඩු වේ. ලබා ගත යුතු අස්වැන්න ලැබෙන්නේ නැත. ගොවියාට ආර්ථික පාඩුවක් සිදු වන්නේය. ඒ නිසා මේ පරාසය යටපත් කිරිම සඳහා වැඩපිලිවෙලක් සකස් විය යුතුය. අනෙක් කරුණ වන්නේ ගොවියාට කාබනික පොහොර තනිවම සාදා ගැනිමට නොහැකිය. ගෙවතු වගාවකට නම් කොම්පොස්ට් පොහොර සාදා ගත හැකිය. නමුත් වෘත්තිය ගොවියාට එය ප්‍රායෝගිකව සිදු කළ නොහැක. ඒ සඳහා රජයේ යාන්ත්‍රණයක් තිබිය යුතුය. මෙරට පොහොර ලේකම් කාර්යාලය කියා එකක් ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන රැසක් තිබේ. මේ මොන ආයතන තිබුණත් ඔවුන් රසායන පොහොර වලින් තොරව වගාවන් වලට යාමට  යාන්ත්‍රණයක් නැත. ජනාධිපතිවරයා, අගමැතිවරයා,  කෘෂිකර්ම ඇමතිවරයා මේ ගැන කටින් බතල කොල සිටවුවාට වැඩක් නැත. අප කියන්නේ ඇත්තටම පොළවට බැස බතල සිටුවන ලෙසය. ඒ සඳහා උදව් කිරිමට අප සුදානම්ය.

ශානිකා මාධවී

සරත් එරමිණිගම්මන

Social Sharing
නවතම