ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී

වත්මන් ජනාධිපති කොමිසම නව කැකිල්ලේ ‌කොමිසමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ව්‍යවස්ථාවට අනුව ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අවසන් තීන්දු, තීරණ ගැන පවා අද මේ ජනාධිපති කොමිසම, උපාලි අබේරත්න කොමිසම යම් යම් නියාමන දෙන බවද ඒ මහතා පවසයි.

මාස කිහිපයක් ඇතුලත නඩු 77 ක් පිලිබඳ විමසීම් කර ඉතාම පක්ෂපාති, මේ රටේ අධිකරණ ක්‍රමයටම අභියෝගයක් වෙන යෝජනා මේ උපාලි අබේරත්න කොමිසම ක්‍රියා කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ කොමිසමේ අනෙක් සාමාජිකයින් ගත් කළ ඔවුන්ද මෙරට ගෞරවාන්විත රාජකාරි කළ විනිසුරුවරුන් නොවන බවත් ඔවුන් තම පෞද්ගලික දිවිය, විනිසුරු දිවියම දුරාචාරයේ යොදවපු අය බවත් ඒ නිසා ඔවුන්ගේ නිගමන ගැන පුදුම වන්නේ නැතැයිද පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2015-2019 ආණ්ඩුවේ යම් යම් විමර්ශන සිදු කළේ දුෂණ විරෝධි කමිටුවකින් නොවන බවද විමර්ශන කළේ පොලිසීයෙන් වන අතර නඩු පැවරුවේ නීතිපතිවරයා විසින් බවද පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ විහිලුවට කරුණ ඒ රජයේ සිටි අධිකරණ ඇමතිවරයාම සාක්ෂි ලබා දීම බවත් මේ කරන්නේ දේශපාලන දඩයමක් බවය.

මන්ත්‍රීධුරය අහෝසි කරන්න නැතිහොත් සත් අවුරුද්දක් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට අවශ්‍ය හැකියාව ඇති බව ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් නමුත් මේවායින් බිය නොවන බවත් නිවටයින්ට කිසිසේත් බිය නොවන බවද ඔහු අවධාරණය කර සිටියි.

මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට ගරු කරන නමුත් රාජපක්ෂලාගේ අවනීතියට යටත් වෙන්න සුදානම් නැතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම