නැගෙනහිර බැරිනම් බටහිරින් ආදානිගේ දොලදුක සංසිඳවයිද?

සමාජ ආන්දෝලනයට තුඩු දී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම පවත්වා ගැනීමට ඊයේ (01) විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද සියලුම පුවත්පත් වාර්තා කර තිබේ.

එම පුවත් වලට අනුව වරාය වෘත්තිය සමිති සිය සටනින් ජයගෙන ඇත. නමුත් විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රකාශය හොඳින් කියවා බැලීමේදි පෙනී යන්නේ වරාය වෘත්තිය සමිති ජයගෙන නොමැති බවය. මන්ද රජය ඉදිරියට තැබු පය ආපසු ගෙන නැත. සිදුකර ඇත්තේ පාදය තබන ආකාරය මඳක් වෙනස් කිරිම පමණකි.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට දිය නොහැකි නම් වරායේ බටහිර පර්යන්තය හෝ ඔවුන්ට ලබා දිය යුතුය යන මතයේ මේ රජය ඇත.  බටහිර පර්යන්තයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසා ඇත්තේ ඒ නිසාය.

“ඇත්තෙන්ම මීට පෙර මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ලැබුණෙ මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙ රජය නම්කරන සමාගමක් සමග සාකච්ඡා සම්මුති කමිටුවක් ( කැන්ක් එකක් ) පිහිටුවන්න. ඒ කමිටුව පිහිටුවලා ඒ අය විසින් අදාළ සමාගම සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කළේත් අපේ පර්යන්තය විකිණීමක්වත් බදුදීමක්වත් නෙවෙයි ආයෝජනය කරලා හවුල් සමාගමක් හැටියට යෑමට. නමුත් අපේ කැන්ක් එකේ සාමාජිකයින් ඉදිරිපත් කරපු කොන්දේසිවලට කිසිසේත්ම ඒ අය එකඟ නොවෙන තත්වයක් අපට පැහැදිලිව පෙනුනා.

ඒ නිසා ඒ කැන්ක් එක මට ඉදිරිපත් කරපු වාර්තාව අනුව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සමග සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්තා නැගෙනහිර ජැටිය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන්න. අද ඒ කැබිනට් පත්‍රිකාව මං ඉදිරිපත් කළාම ඒකට කැබිනට් අනුමැතිය සියලු දෙනාගෙන්ම ලැබුණා.

බටහිර පර්යන්තයත් සමගාමීව පටන් ගන්නවා. ඒ නිසා අපි ඒ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියානු රජයත් සමග සාකච්ඡා කරන්න ඒ සම්බන්ධයෙනුත් කැන්ක් එකක් පත්කළා ආයෝජකයෙන් ගෙනල්ලා ආයෝජකයෙක් එක්ක හවුල් සමාගමක් හැටියට ඉදිරියට යෑමට අවශ්‍ය කටයුතු කරලා පියවර ගැනීම සඳහා” යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලිව කියා ඇත. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (01) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වෙත ප්‍රකාශයක් කරමිනි.

වරාය සටනට දේශපාලන පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සහාය පළවෙද්දී අග්‍රාමාත්‍යවරයා මීට මැදිහත් වුයේ තංගල්ලේ කාල්ටන් නිවසේ සිට නිවේදනයක් නිකුත් කරමිනි. ඒ කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය මෙරට සම්පත් විදේශයට විකුණා දැමුවා මෙන් තම රජය මෙරට සම්පත් විදේශයට අලෙවි නොකරන බව පවසමිනි.

ඉන් අනතුරුව ඔහු ඊයේ (01) දින වරාය අධිකාරියේ වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක්ද කැඳවුහ. ඒ විජේරාම පිහිටි අගමැතිවරයාගේ නිවසේදිය.එහිදීද කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවය.

වත්මන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වන්නේ දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර දීමට කටයුතු නොකරන අතර එය සීයයට සීයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවයි මෙහිදී අගමැතිවරයා අවධාරණය කර තිබුණි.

එම අවස්ථාවේදී වරාය වෘත්තිය සමිති නායකයෙකු විසින් ඒ බව ලිඛිතව ඉල්ලා සිටි අවස්ථාවේ අගමැතිවරයා පැවසුයේ තමන්ගේ වචන වසර 50 ක දේශපාලන ඉතිහාසය තුල කිසිදු අවස්ථාවක ලියා දී නොමැති බවත් විශ්වාසය මත පමණක් සිදු වන්නක් බවය. තමන්ගේ ප්‍රකාශ මාධ්‍ය වල පළ වන බවත් තවත් ලිඛිත ලියවිලි කුමටදැටි ඔහු විමසා සිටියේය.

අවසානයේ අග්‍රමාත්‍යවරයාගේ තීන්දුවට වරාය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සිය එකඟතාවය පළකර අතර ඔවුන් කියා සිටියේ දැනට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද  නතර කරන බවය.

එම සාකච්ඡාවෙන් පසුව පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත. එමෙන්ම බටහිර පර්යන්තයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී  ඇත.

Social Sharing
නවතම