ලොක්කන්ගේ “ඩිපෙන්ඩර් සෙල්ලමට” බිලිවෙන දුප්පත් ජිවිත

කොළඹ ජාතික රෝහලේ සේවකයින්ට වැටුප් ගෙවීමට තිබු රුපියල් ලක්ෂ 78 කට ආසන්න මුදලක් කොල්ල කා පලා යමින් සිටි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි අංශයේ ආධුනික පොලිස් කොස්තාපල් ( 93666 ) අලහප්පෙරුම ආරච්චිලාගේ සිතුම් දුලීක යොමාල් අලහප්පෙරුම ගැන මුලු රටම දැන ගත්තේ ඉකුත් (14) උදෑසනය. ඒ ඔහු රිය අනතුරකට ලක්ව මෙලොවින් සමුගැනීමත් සමඟය. ඔහුට සමුගන්නට සිදු වුයේ බලයෙන් හිස උදුම්මවාගත් පරම්පරාවක එක් අමානුෂික රියෙදුරෙකුගේ ක්‍රියාකලාපය නිසාය.

ඩිපෙන්ඩර් රිය අනතුරු සමාජයේ වරින් වර සිදු වුවා අපට මතකය. ඉන් බිහිසුණුම අනතුර වුයේ 2015 සැප්තැම්බර් 10 දාය. ඒ මිනුවන්ගොඩ, යාගොඩමුල්ලේදී ප්‍රභූ ආරක්ෂකයින් ගමන් ගත් ඩිපෙන්ඩර් රථයක් පෞද්ගලික බස් රථ දෙකක ගැටී ජනාධිපති ආරක්ෂක අංශයේ පස් දෙනෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වීමය.

එම සිදුවීමෙන් අනතුරුව ඩිපෙන්ඩර් ගැන යළි කථා කරන්නට වුයේ 2019 ජුලි මාසයේදීය. ඒ බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්ද සාගර හරිස්චන්ද්‍ර මහතාව බම්බලපිටිය පොලිස් වසමේදී ප්‍රභූ ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ පුතෙකු විසින් පැදවූ බව කියන ඩිපෙන්ඩර් රථයක ගැටී මිය යාමය. අදටත් ඔහුගේ මරණයට සධාරණයක් වූ බව නම් පෙනෙන්නට නැත.

අපට නැවතත් ඩිපෙන්ඩර් අනතුරු ගැන සිහි කරන්නට සිදු වුයේ සිතුම් දුලීකගේ රිය අනතුරත් සමඟිනි.

රාජකාරි නිමවා ඉකුත් 11 දා රාත්‍රී ඔහු යතුරු පැදියෙන් තවත් මිතුරෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තුම්මුල්ල වටරවුම ආසන්නයේදී ඩිපෙන්ඩර් රථයක ගැටී අනතුරට පත් විය. මෙහිදී බරපතලම තුවාල ලැබුයේ සිතුම්ය. ඔහු ජිවිතයත් මරණයත් අතර සටනක යෙදී සිට ඉකුත් (14) අලුයම මෙලොවින් සමුගත්තේ තවත් ඩිපෙන්ඩර් රථ මාරක අනතුරක් ඉතිහාස ගත කරවමිනි.

මේ ඩිපෙන්ඩර් රථය පදවා තිබුණේ තරින්ද රත්වත්ත නම් නීති සිසුවෙකි. ඔහු රග්බි ක්‍රිඩකයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බවද අනාවරණ වී ඇතැයි පොලිසිය කියයි.

මොහු ලොහාන් රත්වත්තගේ මෙන්ම මහනුවර නගරාධිපතිව සිටි මහේන්ද්‍ර රත්වත්තගේ ඥාතී පුත්‍රයෙකි. රත්වත්තේ පරම්පරාව නිසා ඔහුට ඇති සබඳතා බොහෝය. බුද්ධි අංශ නිලධාරියාගේ අනතුර සම්බන්ධයෙන් තරින්ද රත්වත්තේව පෙරේදා (15) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු නමුත් ඔහු  එදින අධිකරණයේ පෙනී සිටියේ නැත. ඒ ඔහුට බන්ධනාගාර ගත වූ පසු අසනීප වීම නිසා බව ඔහුගේ නීතිඥයින් අධිකරණයට පවසා තිබු අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔහුව ලබන 19 වෙනිදා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ එදිනට සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටය.

සේවකයින් රැසකට වැටුප් ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ ගණනක මුදල් මංකොල්ලය ඉකුත් 09 දා වැලකු රාජ්‍ය බුද්ධි අංශයේ සිතුම් හා ඔහුගේ අනෙක් නිලධාරීයා පිලිබඳ මංකොල්ලයෙන් පසු දින කිසිවක් වාර්තා වුයේ නැත. එම මංකොල්ලයේ වීරවරිය බවට පත්ව තිබුණේ ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුණි බෝගහවත්තය. නමුත් ඇය අවසන් මොහොතේ එම ස්ථානයට පැමිණි අතර මෙම මිය ගිය නිලධාරියා ඇතුලු අනෙක් නිලධාරීයා මුදල් මංකොල්ල කෑ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට දැඩි වෙහෙසක් දරා තිබු බව මුලු බුද්ධි අංශයම දන්නා කරුණකි. නමුත් ඔවුන්ට නිසි ඇගයිමක් ලැබුණේ නැත.

සිතුම් මිය යාමෙන් පසුව ඔහුව පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා පියවර ගත්තේද පෙරේදා දිනයේය. නමුත් මේ ඇගයිම් සිතුම්ට දැන් පෙනෙන්නේ නැත. ඔවුන්ව ඇගයිමට ලක් කරන්නට තිබුණේ එම මංකොල්ලයෙන් පසු දිනමය. නමුත් පොලීසිය එහිදී කළේ ප්‍රශසංසා කිරීමක් පමණි.

එතැනදීද අසාධාරණයට ලක් වු සිතුම් දුලිකගේ ඝාතනය සම්බන්ධයෙන්ද සාධාරණයක් ඉටුවේද යන්න සැක  සහිතය. ඒ රත්වත්තලාගේ පහුගිය ඉතිහාසය දෙස බැලිමේදීය. ඇතැම් විට තරින්ද පෙරේදා දින අධිකරණයට ඉදිරිපත් නොවුනේද එහි උපායක් ලෙස විය හැකිය. සිතුම් දුලීක ද ධනවත් පංතියක තරුණයෙකු වුවා නම් ඔහුගේ මරණයට කෙසේ හෝ සාධාරණයක් ඉටු වෙනු ඇත. නීතියද නැවෙනු ඇත.

-ශානිකා-

Social Sharing
නවතම