“මියන් කුමාර” සම්බන්ධයෙන් නාගානන්ද පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමේ සුදානමක්!

අගනගරය සමීපයේ ප්‍රසිද්ධ රජමහා විහාරයක ඇති දැඩි කරන ඇත් පැටවකුට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන කෲර වධ හිංසාවට එරෙහිව, නීතිය ක්‍රියාත්මක නොකළහොත් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරන බව 2021 ජනවාරි 15 සිකුරාදා පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහජන අයිතිය බල ගැන්වීමේ ක්‍රියාකාරී සහ ලේකම්, විනිවිද පෙරමුණේ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

නීතිඥ වෘත්තියට නොගැලපෙන අයුරින් කරුණු දැක්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවකට වරදකරුවී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  නීතිඥභාවය වසර තුනකට අහෝසි කරනු ලැබ  සිටින නාගානන්ද කොඩිතුවක්කු සිය ලිපිය මගින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ  මීට ප්‍රථමයෙන්ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් මෙම ඇතාට දීර්ඝ කාලයක් පුරා පමුණුවන කෲර වද හිංසා වලින් නිදහස් කිරීමට  මේ දක්වා  සම්පුර්ණයෙන්ම අසමත් වී ඇති බවයි.

ඇත් පැටවා වධ හිංසාවට ලක් වන ආකාරය වීඩියෝ සාක්ෂි සහිතව  නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පොලිස්පතිවරයාට පැහැදිලි කර දී තිබේ.

එය සම්පුර්ණ නීති විරෝධි, සදාචාර විරෝධී සහ දහමට  සම්පුර්ණයෙන්ම පටහැනි අපරාධ වරදක් වන අතර නීතිය ප්‍රකාර සතුන්ට කෲර අමානුෂික හිංසා පීඩා පැමිණවීම අපරාධ වරදක් බවත් හිටපු නීතිඥයා පෙන්වා දී තිබේ.

බුද්ධාගම රාජ්‍ය ආගම වන අතර එය පෝෂණය කිරීමට රජය බැදී සිටින බව පවසන නාගානන්ද කොඩිතුවක්කු පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ ඇතාට සිදු වන වධ හිංසාවට එරෙහිව රටේ නීතිය බල ගැන්වීමට තවදුරටත් අපොහොසත් වුවහොත් අපරාධ වරදෙහි යෙදෙන තැනැත්තන් ආරක්ෂා කිරීමට පොලිස්පති ධූරය අවභාවිතා කිරීමේ දුෂණ චෝදනා මත නඩු පැවරීමට ක්‍රියා කරන බවයි.

බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මියන් කුමාර නමැති ඇත් පැටවා ජල තටාකයක වැතිර සිටින  ආකාරයත්, ඇතාගේ  ඉදිරි සහ පිටුපස පාද බැඳ දමා දණ්ඩකින් පහර දෙන ආකාරයත් ඇත් පැටවා වේදනාවෙන් හඬ දෙන ආකාරයත්  දැක්වෙන වීඩියෝ පට පසුගිය වසරේදීත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනි.

මේ වන විට දහසය හැවිරිදි වියේ පසුවන මියන් කුමාර නැමැති ඇත් පැටවා මියන්මාර රජය විසින් බෙල්ලන්විල රජමහා විහාරයට ලබා දී ඇත්තේ ත්‍යාගයක් වශයෙනි.

2013 වසරේදී ඇත් පැටවා ශ්‍රී ලංකාවට ගෙන විත් තිබේ.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් මියන් කුමාරගේ පහර දීමට ලක්ව 2018 වසරේදී බරපතළ තුවාල ලැබූ බව එවකට මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඉල ඇටවලට බරපතළ හානි සිදුවී රෝහල්ගත කෙරුණු එහිමියන් පසුව අපවත් වූහ.

නමුත් එවැනි පහර දීමක් සිදු වූ බව ප්‍රතික්ෂේප කළ විහාරස්ථාන පාලනාධිකාරිය එවක පවසා තිබුනේ  මහාචාර්ය විමලරතන හිමි ඇත් පැටවාට ආහාර දීමට ගිය අවස්ථාවේ ඇද වැටී  තුවාල ලැබූ බවයි.

Nagananda Kodituwakku is preparing to file a case against the IGP

Social Sharing
නවතම