“උදයංග පොකුරෙන්” ගුවන්තොටුපල නියෝජ්‍ය කළමනාකරුටත් අසාදනය වෙලා?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල නියෝජ්‍ය කළමනාකරුට  කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපොල කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළ පුවතක් අද (07) දිනයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

කටුනායක ගුවන් තොටුපොල නිලධාරීන් පිරිස පසුගියදා මත්තල ගුවන් තොටුපළේ පැවති යූක්‍රේන ජාතික සංචාරකයන් පිළිගැනීමේ උත්සවය සදහා සහභාගී වී ඇත.

මෙම නියෝජ්‍ය කළමනාකරු සමග සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපොල සේවකයින් 15 දෙනෙකුට අධික පිරිසක් ද මේ වනවිට තම නිවෙස් වල නීරෝධායනය සදහා යොමු කර ඇති බවද නිවෙස් තුළ නීරෝධායනය වෙමින් සිටින ගුවන් තොටුපළ සේවකයින් පිරිස තව දින 07 කින් PCR පරීක්ෂණ වලට ලක් වීමට නියමිත බව ද ගුවන් තොටුපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා තිබුණු බව එහි වැඩිදුරටත් සඳහන් විය.

මේ සංචාරක බුබුල නැතහොත් ට්‍රැවල් බබල් ගැන සංචාරකයින් මෙරටට පැමිණිමට පෙර සිටම මෙරට විවිධ පුද්ගලයින් අදහස් දැක්වුහ. ඒ මේ සංචාරකයින් හරහා කොරෝනා පොකුරක් නිර්මාණය විය හැකි බවය. නමුත් රජය එම වැඩ පිලිවෙල ක්‍රියාත්මක කළේය.

මේ වන විට 500 කට අධික යුක්රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. මේ අතරින් 06 කුට කොවිඩ් පොසිටිව් බවද මේ වන විට තහවුරු වී ඇත.

මොවුන් මත්තල ගුවන් තොටුපලින් මෙරටට පැමිණීමත් සමඟ නිරෝධායනය සඳහා යොමු වුයේ නැත. පැමිණි දා සිටම විවිධ ස්ථාන වලට සංචාරය සඳහා ගමන් කරනු දක්නට ලැබුණි.

මොවුන් යාල වනෝද්‍යානය නැරඹිමට යාමෙන් පසු එහි ඇති වුයේද උණුසුම් තත්ත්වයකි. ඒ සෆාරි ගිය රියදුරන් නිරෝධායනයට ලක් කිරීම නිසාය.

මෙහිදී සංචාරක අධිකාරිය සංචාරක අමාත්‍යවරයාට දන්වා තිබුණේ ඔවුන් නොදැනුවත්ම මෙම සංචාරකයින් පිරිස මෙලෙස ගමන් කර ඇති බවත් මේ පිලිබඳ දැන ගත්තේ මාධ්‍ය මඟින් බවත්ය.

මුව ආවරණ නොපළඳින පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන මේ රටේ මේ සංචාරකයින් මුව ආවරණ නොපැලඳ ඔවුන්ට රිසි සේ නිරෝධායන නීතී උල්ලංඝනය කරමින් කටයුතු කරනු ලැබුයේ ඇතැම් විට උදයංග වීරතුංගගේ හිතවත්කම නිසා විය හැකිය.

එමෙන්ම මොවුන් සීගිරිය, පොලොන්නරුව ආදි ස්ථාන නැරඹිමට යන විට ඒවා දේශීය සංචාරකයින්ට එදිනට තහනම් කිරිමටද රජය පියවර ගෙන තිබුණි.

මේ යුක්රේන සංචාරකයින්ගෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයින් සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් කිසිදු අයෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර නැත. සිදු කරන්නේ ඔවුන්ව රට වටා ගෙන යාමය. මේ තුලින් රජයේ අනුග්‍රහය ඇතිව තෙවැනි කොවිඩ් රැල්ලක් රජය බිහි කරමින් සිටින බවත් එය උදයංග පොකුර ලෙස හැඳින්විය හැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ රජයේ මේ අදුරදර්ශී ක්‍රියාකලාපය නිසාය.

මෙම වැඩසටහනේ අඩුපාඩු පෙන්වා දීමට ඉදිරිපත් වන අයට පහුගියදා උදයංග වීරතුංග සැර පිළිතුරක් ලබා දි තිබුණි. ඒ ඔහුගේ වැඩ කඩාකප්පල් කිරීමට ඇතමුන් ක්‍රියා කරන බවට චෝදනා කරමිනි.

එමෙන්ම සංචාරක, සිවිල් ගුවන් සේවා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබුණේද මෙරටට සංචාරකයින් ගෙන්වද්දී භාවිතා කරන නීතියම මෙරටට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගෙන්වීම සඳහා භාවිතා කළ නොහැකි බවය.

“උදයංග වීරතුංග නෙමෙයි මෙතන ඉන්න ඕනෙම කෙනෙක් රටට සංචාරකයෙක් ගේනවා නම් මැදිහත් වෙලා ඒ සඳහා අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා.

හැමෝම කිව්වා එක රටේ එක නීතියක් කියලා, එක නීතියක් විදියට කටයුතු කරන්න බෑ. සංචාරකයින්ට ගේන නීතිය විදේශ රටවල ඉන්න අපේ ශ්‍රමිකයින්ට ලබාදෙන්න බෑ. අපි ගේන සංචාරකයො මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලාංකිකයින් එක්ක සමාජගත වීමක් නොවන නිසා බයෝ බබ්ල් එකක් හැටියට කටයුතු කරනවා.

බොහෝ දෙනෙක් කතා කළා යාල රියදුරන් සම්බන්ධව. අපි මේක පැහැදිලිවම ගයිඩ්ලයින් දීලා තියෙනකොට එතන අපෙන් පොඩි අඩුපාඩුවක් වුණා, අපි පිළිගන්නවා මොකද සෞඛ්‍ය මාර්ගෝපදේශ ටික ඒ අයට හරියාකාරව යන්න බැරිවුණා මාර්ගෝපදේශ ප්‍රමාද වෙච්ච නිසා. මේක නියමු ව්‍යාපෘතියක්. මේකෙ අඩුපාඩු වෙනවා.

උදයංග වීරතුංග මහත්තයාත් අපෙ බබ්ල් එක ඇතුළෙ ඉන්නවා. එයා කරන දේ මම හරියි කියන්නෙ නෑ. අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි රටට සංචාරකයො ගේන්නෙ වෙන මොකටවත් නෙවෙයි, මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 30ක් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නයි” යනුවෙනුන් ඔහු පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි.

නමුත් සංචාරක බුබුල නියමු ව්‍යාපෘතිය ආරම්භයේදිම රජය සංචාරකයින් අතරින් රෝගීන් බලාපොරොත්තුව සිටි බවත් ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු සුදානම් කර තිබු බවද Chauffeur Tourist Guide Lecturers සංවිධානය පහුගියදා හෙළි කර තිබුණි.

මේ සම්බන්ධව දෙසැම්බර් 31 දා සංචාරක ඇමති ප්‍රමුඛ සංචාරක අමාත්‍යාංශය සිදු කළ සාකච්ඡාවකදි මේ සංචාරක පොකුරෙන් කොවිඩ් රෝගියෙක් වාර්තා වුවහොත් සිදු කළ යුතු දේ ගැන සාකච්ඡා කළ බවත්ය.

කොළඹදී පැවති හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ  සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසා තිබුණේද  සංචාරක බුබුල ගැන කතා කිරීමේදී ඇතැමෙක් සිතනවා නම් ඔවුනොවුන්ගේ තරාතිරම නිසා හෝ නැත්නම් මේ රටේ නිරෝධායන නීතියට අනුව කටයුතු කිරීමට සංචාරකයින්ට පිස්සු නැහැ වැනි ආකාරයෙන් සිතනවා නම්  එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවය.

එමෙන්ම මෙවැනි වසංගතයක් හමුවේ රටේ සංචාරකයින්ට හා සාමාන්‍ය ජනතාවට නීති දෙකක් තිබිය නොහැකි අතර පවතින නිරෝධායන නීතිවල ප්‍රශ්නයක් ඇත්නම් සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්වී ඒවා පොදුවේ වෙනස් කරගත යුතු බවද ඔහු කියා තිබුණි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාද කියා තිබුණේ මේ යුක්රේන සංචාරකයින් හරහා අලුත් පොකුරක් බිහි විමේ අවදානමක් ඇති බවය.

 

සබැඳි ලිපි

01- ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව

https://www.aithiya.lk/udayanga-weeratunga-travel-bubb

02-  ට්‍රැවල් බබල් ආවා..ආවා…

ට්‍රැවල් බබල් ආවා.. ආවා..

Social Sharing
නවතම