“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක්  නොවේ! – සිවිල් සංවිධාන

ශ්‍රී  ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදි යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලස්විය යුතු බවත් ශ්‍රී  ලංකාවේ රාජ්‍ය පරිපාලනය සහ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට  කිසිසේත් යහපත් නොවන බවද සිවිල් සංවිධාන පවසයි.

ජනාධිපති කාර්ය සාධක බලකායන් පිලිබඳව සිවිල් සංවිධාන විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඇතුලුව සිවිල් සංවිධාන 16 ක සාමාජික සාමාජිකාවන් 59 කුගේ අත්සන් වලින් යුක්තව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඔවුන්ගේ අවධානයට ලක්ව තිබෙන්නේ පහුගිය දිනවල පිහිටුවන ලැබු ජනාධිපති කාර්ය සාධක බලකායන් වන ක්‍රියාකාරිත්වය පිලිබඳවය.

කෝවිඩ් 19ට ප්‍රතිචාර ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාර්ය සාධක බලකායන් තුනක් පහුගියදා  පත් කරනු ලැබීය.  ජන ජීවිතයේ පැවැත්ම සඳහා අඛණ්ඩ සේවා සැපයීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම සඳහා එක් කාර්ය සාධක බලකායකට පුළුල් බලතල හිමිව ඇති බවත් ආර්ථීක පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ශ්‍රි  ලංකාවේ අධ්යපාන කටයුතු සම්බන්ධව තවත් එක් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර අතර  මෙම කාර්ය සාධක බලකායන් අතරින් ආසන්නතම පත්කිරීම වන්නේ  2020 ජුනි 02 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ “සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය” (අංක 2178/18 අතිවිශේෂ ගැසට් පත්‍රය) සහ “නැගෙනහිර පළාත තුළ පුරාවිද්යාත්මක උරුම කලමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය” (අංක 2178/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය) යන  කාර්ය සාධක බලකායන් බව ඒම නිවේදනයෙන් කියා සිටියි.

මෙම කාර්ය සාධක බලකායන්වල විෂය පථයන් පුළුල් මෙන්ම අපැහැදිලි බවත්  දැනට පවතින යාන්ත්‍රණයන්  සමග මේවා සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැහැදිලි නැති බවත් ඊට  උදාහරණ ලෙස පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පෙන්වා දිය හැකි බවද ඒම නිවේදයෙන් පෙන්වා දෙයි.

ඒමෙන්ම කාර්ය සාධක බලකායන් පිහිටුවන අවස්ථාව වන විට ඒවායේ කාර්යන් හා බලතල සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුව සක්‍රීයව  නොපවතින බව පෙන්වා දෙන ඒම නිවේදයෙන් කියා සිටින්නේ  මේ මොහොතේ පවතින බරපතළ සෞඛ්‍ය, ආර්ථික සහ සමාජ අර්බුදය හමුවේ පුරාවිද්‍යාව සම්බන්ධ කාරනා  මූලිකත්වයට පැමිණීමේ හේතුව පැහැදිලි නැති බවය.

තවද කෝවිඩ් 19 හේතුවෙන් රට අගුළු දමා තිබු වතාවරණයක මෙම කාර්ය සාධක බලකායන් ස්ථාපිත කිරීම සම්බන්ධව පුරවැසියන්ට ඔවුන්ගේ යොජනා සහ අදහස් ප්‍රකාශ  කිරීමට අවස්ථාවක් නොවුනු බව සඳහන් කරන ඒම සිවිල් සංවිධාන කියා සිටින්නේ 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශය, සංවර්ධන ක්‍රියාදාමය, රාජ්‍ය පරිපාලනය සහ අධිකරණ ක්‍රියාදාමයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය කිරීම සඳහා වන රජයේ අඛණ්ඩ අභිප්‍රාය මෙමඟින් තවදුරටත් පෙන්නුම් කරන බවද  මේ තත්වය ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත වූ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයට  කිසිසේත් යහපත් නොවන බවය.

රටේ ජන විවිධත්වය නොසලකා හරිමින් වැඩිපුරම සිංහල සාමාජිකත්වයකින් මෙම කාර්ය සාධක බලකා සමන්විත වන අතර. නැගෙනහිර පලාත සඳහා පත්කර ඇති කාර්ය සාධක බලකායේ බෞද්ධ භික්ෂූන් සඳහා සැලකිය යුතු ඉඩක් ලැබී තිබුනත් එම පළාතේ විශාලම ජනගහනය වන මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව  නොසලකා හැර ඇති බව පෙන්වා දෙන මෙම නිවේදනයෙන් කියා සිටින්නේ  එයින් හැඟී යන්නේ මෙම කාර්ය සාධක බලකා වෙනත් ජන කණ්ඩායම් නොසලකා හරිමින් බහුතරය අනුව කටයුතු කළ යුතු බව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය  වී ඇති බවය.

මෙම නව කාර්ය සාධක බලකායන් ජනාධිපතිවරයාට පමණක් වගකිව යුතු ව්‍යුහයන්  වන අතර කාර්ය සාධක බලකායන්හි සාමාජිකත්වය දරන්නේ වෘත්තීය සිවිල් සේවයේ නිලධාරීන් නොව සිවිල් කටයුතුවලට අවශ්‍ය පළපුරුද්ද සහ අත්දැකීම් නොමැති ආරක්ෂක අංශයන්හි නිලධාරීන් විසින් බවත්  රාජ්‍ය සේවය, කැබිනට් මණ්ඩල හා අමාත්‍යංශ බලතල අධීක්ෂණයකට යටත් කිරීම පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය අනුව අත්‍යවශ සාධකයක වන නමුත් ඒ සඳහා කාර්ය සාධක බලකායන් වෙනුවට වඩාත් සුදුසු වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ දැනටමත් පිහිටුවා ඇති සහ සියලු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන්  සමන්විත පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු යාන්ත්‍රණය  භාවිතා කිරීම බවද මෙම නිවේදයෙන් අවධාරණය කර සිටියි.

අනෙක් අතින් වියදම් කපා හැරීම පිළිබඳ රජය මූලික අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක මෙම කාර්ය සාධක බලකා සඳහා මුදල් වෙන් කෙරෙන්නේ කෙසේද යන්න අපහැදිලි වන අතර අමාත්‍යංශ වලට දැනට පැවරී ඇති කාර්යන්ම නැවත සිදුකිරීමක් වේද, එසේ නම් රජයේ අතිරේක වැය බර අඩු කළ යුතු මෙවැනි මොහොතක එය කෙතරම් සුදුසුද? යන්න ප්‍රශ්න කර සිටියි.

වසංගතය සමඟ උද්ගත වූ අර්බුදය, මිලිටරිකරණය සඳහා නිදහසට කරුණක් නොවන අතර මිලිටරිකරණය අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුම ද නොවන බව කියා සිටින මෙම නිවේදයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ ප්‍රජාත්‍රන්තවාදය  සක්‍රීය කරවන අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව ඉක්මවා කටයුතු කිරීම මෙයට කිසිසේත්  විසඳුමක් නොවන බවය.

“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක් නොවේ! - සිවිල් සංවිධාන

“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක් නොවේ! - සිවිල් සංවිධාන

“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක් නොවේ! - සිවිල් සංවිධාන

Social Sharing
නවතම විශේෂාංග