ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අහිමි විය.

එම වෙඩි තැබීමට අදාළ විඩියෝ පට ප්‍රසිද්ධියට පත්වීමත් ඒ සමඟ එල්ල වූ දැඩි මහජන විරෝධයත් නිසා ඇට්ලන්ටා පොලිස් ප්‍රධානි එරික් ෂීල්ඩ්ස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ද සිදුවිය. ඇට්ලැන්ටා පොලිස්පතිනිය එරිකා ෂීල්ඩ්ස් සිය ඉල්ලා අස්වීම නගරාධිපති ක්‍රිෂා ලාන්ස් බටන්ස්ට බාර දුන්නේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

වෙඩි තැබීමේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති අතර අනෙක් පොලිස් නිලධාරියා පරිපාලන කටයුතුවලට අනුයුක්ත කර ඇතැයි ඇට්ලන්ටා පොලිස් දෙපාර්තමේන්තුව අද (14) නිවේදනය කළේය.

මෙසේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූයේ 27 හැවිරිදි රෙෂාඩ් බෲක්ස් ය. හෙතෙම අප්‍රිකානු-ඇමෙරිකානු සම්භවයක් සහිත කළු ජාතික තරුණයෙකි. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී ය.

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්වීමෙන් මැයි 25 වැනිදා මරණයට පත්වූ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් මේ වනවිට තෙවැනි සතියටත් ඇමෙරිකාවේ නගර සිය ගණනක විරෝධතා පැවැත්වෙයි. පොලිස් ප්‍රතිසංස්කරණ කරන්නැයි ඉල්ලමින් සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතා මේ වනවිට ලොව ප්‍රධාන නගර රැසකට ව්‍යාප්ත වී ඇත.

රෙෂාඩ් බෲක්ස් ‘වෙන්ඩීස්’ නමැති අවන්හලට සිය මෝටර් රථයෙන් පැමිණ අතර ඔහුට සිය මෝටර් රථය තුළම නින්ද ගොස් ඇත. ඒත් සමඟ ආපනශාලාවට පිවිසෙන මාර්ගය ද අවහිර වී තිබෙන අතර මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ රිය තුළ පරීක්ෂා කර ඇත. පොලිස් නිලධාරීන් රෙෂාඩ් බෲක්ස් මත්පැන් පානය කර සිටි බවත් ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවත් ඇට්ලන්ටා පොලිසිය සඳහන් කළේය.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා සහ රෙෂාඩ් බෲක්ස් අතර ගැටුමක් ඇති වී තිබේ. රෙෂාඩ් බෲක්ස් පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ කලහකර ඇති අතර රෙෂාඩ් බෲක්ස් බිම වැටී සිටින අයුරු එක් විඩියෝ පටයක දැක්විණි. රෙෂාඩ් බෲක්ස් පොලිස් නිලධාරියකුගේ ‘ටෙයිසර්’ උපකරණය (ඇමෙරිකාවේ පොලිස් නිලධාරීන් සතු ආරක්ෂිත උපකරණයක්) පැහැරගෙන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ග්‍රහණයෙන් මිදී දිව යන අයුරු තවත් විඩියෝ පටයක දැක්වේ.

රෙෂාඩ් බෲක්ස් රෝහල් ගත කළ බවත් පසුව මියගිය බවත් වාර්තා විය. එක් පොලිස් නිලධාරියකුට ද තුවාල සිදු වී ඇති අතර ඔහු ප්‍රතිකාර ලබා පිටව ගියේය. ජෝර්ජියා ප්‍රාන්තයේ ෆුල්ටන් ජනපදයේ දිස්ත්‍රික් නීතිපති කාර්යාලය මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ ඇට්ලැන්ටා නුවර ද විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ 2013 වසරේ පොලිසියට සම්බන්ධ වූ බව කියන ගැරට් රොල්ෆ් නමැති පොලිස් නිලධාරියා වන අතර අනෙක් පොලිස් නිලධාරියා ඩෙවින් බ්‍රෝන්සන් ය. ඔහු පොලිසියට සම්බන්ධ වී ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ය.

ලංකාදීප

Social Sharing
විදෙස්