සැලකිලි මදි කියා දොස්තරලා හෙට සිට විරෝධතා

කොවිඩ් 19 වසංගතය හමුවේ සිය  යුතුකම ඉටු කළ බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

කොවිඩ් 19 යුතුකම ඉටු කළ බස්නාහිර පළාත් සුව විරුවන්ට නියමිත දීමනා ගෙවීම දිගින් දිගටම අතපසු කිරීමට එරෙහිව කලුපටි පැලදීමේ විරෝධතා වැඩ පිළිවෙලක් දියත් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

එම සංගමය ජුනි 15 සදුදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි ජුනි 16 අඟහරුවාදා සිට බස්නාහිර පළාත් සභාවට අයත් සියලු ප්‍රධාන රෝහල් හා සෞඛ්‍ය ආයතන වල විරෝධතා වැඩසටහන් දියත්කිරීමට නියමිතය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ හෙට දින කලු පටි පැලදීමේ හා බැනර් ප්‍රදර්ශනය කර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ වන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බස්නාහිර  පළාත් ශාඛා සංගම් විසින් දියත් කරන මෙම විරෝධතා වැඩපිළිවෙල සදහා අනෙකුත් වෘත්තීය සංගම් ගණනාවක පිරිස්ද එක්වන බව වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.

“මෙම සංකේතවත් විරෝධතාවයෙන් ඔබිබට මෙම ගැටලුව වඩාත් සංකීර්ණ තැනකට ගමන් කිරීම වැලැක්වීම සදහා බලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීම මේ මොහොතේ හෝ ලැබිය යුතු බව අවධාරණය කරමු”

සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ලබා ගැනීම සදහා දැරු සියලු ප්‍රයන්තයන් අසාර්ථක බව පවසන එම සංගමය වැඩි දුරටත් අවධාරණය කරන්නේ  මේ දක්වාම ස්ථිරසාර විසදුමක් ඉදිරිපත් කිරීමට කිසිදු බලධාරියකුට හැකියාව ලැබී නොමැති  බවයි.

තම සංගමය විසින් දිගින් දිගටම කළ බලපෑම් හමුවේ තාවකාලික විසදුමක් ලෙස 2020 මාර්තු මාසයට අදාල හිග අතිකාල හා අමතර රාජකාරි දීමනා වලින් කොටසක් පමණක් ගෙවීමට මේ වන විට කටයුතු කෙරෙන බවක් දැනගන්ට ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

එවැනි පැලැස්තර විසදුම් හරහා නිසි විසදුම් නොලැබෙන බව පවසන  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ එමගින් අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට සාධාරණය ඉටු නොවන බවයි.

” දින කිහිපයකින් ගෙවීමට නියමිත 2020 ජුනි මස වැටුප් සමග ගෙවිය යුතු දීමනා සදහා පළාත් සභාව සතුව මුදල් නොමැති බව මේ  වන විටත් ප්‍රකාශ වී ඇති පසුබිමක පළාතේ සේවය කරන 2500 කට අධික වෛද්‍යවරුන්ටද, දස දහස් ගණනක් වන අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ටද සාධාරණය ඉටුවන බවක් පෙනෙන්නට නොමැත. ”

පළාත් සභාව සතුව පළාත් සුව විරුවන් සදහා ගෙවීමට හෝ ප්‍රතිපාදන නොමැති නම් හා මධ්‍යම රජයේ භාණ්ඩාගාරය විසින් අදාල දීමනා ගෙවීමට පළාත් සභාව වෙත මුදල් යොමු නොකෙරේ නම් පවතින තත්ත්වය තවදුරටත් බැරැරුම් වීම අනිවාර්ය යැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනය මගින් එම  සංගමය වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ පළාත් සභාව මගින් පාලනය වන සෞඛ්‍ය සේවා ආයතන වලට අවශ්‍ය ප්‍රතිපාදන පළාත් සභාව සතුව නොමැති නම් එම සෞඛ්‍ය ආයතන සියල්ල මධ්‍යම රජය යටතට පවරාගෙන හෝ සාධාරණයක් ඉටු කරන ලෙසයි.

Social Sharing
නවතම