මැතිවරණයට නිකුත් කළ මාර්ගෝපදේශ ගැසට් කරන්න – පැෆරල් සංවිධානය ඉල්ලයි.

කොවිඩ් – 19 වසංගත තත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව නිකුත් කළ මාර්ගෝපදේශ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ ගැසට් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යවමින් පැෆරල් සංවිධානය කියා සිටින්නේ කොරෝනා වසංගත තත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍යය මාර්ගෝපදේශ මේ වනවිටත්  හඳුන්වා දී ඇති අතර ඒ අතුරින් ඇතැම් මාර්ගෝපදේශ ජනජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ඉතා සාධනීය වුව ද සමහර නිර්දේශ මැතිවරණය අරභයා ප‍්‍රායෝගිකව  ක‍්‍රියාත්මක  කළ හැකි ද යන්න සංවාදයක් දේශපාලන පක්ෂ ඇතුලූ විවිධ පාර්ශවයන් මතු කරමින් සිටින  බවය.

ඒ අනුව හැකි ඉක්මණින්  මැතිවරණ  ක‍්‍රියාවලියට සෘජුවම  සම්බන්ධ  වන දේශපාලන පක්ෂ  ඇතුලූ  අනෙකුත් පාර්ශවකරුවන් සමග විධිමත්  සාකච්ඡාවක් කැඳවා එකඟතාවයකට එළඹිය යුතු බවත්  ඒ අනුව එකඟවන යෝජනා නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ ගැසට් කර නිසි නෛතික බලයක් ලැබෙන වැඩ පිළිවෙළක් නිර්මාණය කළ යුතු බවත් මෙම ලිපියෙන් පෙන්වා දි ඇත.

එමෙන් ම එවැනි එකඟතාවයක් ඇතිකර ගැනීම හරහා මැතිවරණ ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛතම පාර්ශවයක් වන දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් වීම මගින් මෙකී නිර්දේශ පහසුවෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා හැකියාවක් ලැබෙනු ඇතැයි අපි විස්වාස කරන බව පවසන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ  එසේ නොවන තත්ත්වයක් තුළ කොතරම්   යහපත් යෝජනා තිබුණ ද ඒවා ප‍්‍රායෝගිකව සහ ඵලදායක  අයුරින් සමාජය තුළ ක‍්‍රියාත්මක කළ නොහැකි නම්  ඉන් සිදුවනුයේ එකී මාර්ගෝපදේශ නොතකා හැරීම හේතුවෙන් මැතිවරණ ක‍්‍රියාවලිය තුළ අනවශ්‍ය ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වන බවය.

ඒ් නිසා පවත්නා නව ප‍්‍රවණතාවය හමුවේ සෞඛ්‍ය නිර්දේශ පමණක් නොව ඉන් පරිබාහිරව ඇති මැතිවරණයන්ට අදාළව නෛතික ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් ද පැහැදිළි නිශ්චිත මග පෙන්වීමක් ලබාදීම හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයකට අදාළ වටපිටාව සකස් කිරීම මගින් ජනතා පරමාධීපත්‍ය බලය අභ්‍යාස කිරීමට ඡන්දදායකයන්ට අවස්ථාවක් සලසන ලෙසද ඒම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

-ශානිකා-

Social Sharing
නවතම