පටපිළිකන්ද හෝටලයත් හමුදාවට පවරයිද?

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය පටපිළිකන්ද ස්වභාවික රක්ෂිතයේ පිහිටි සංචාරක හෝටලය ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයාට පවරා දීමට ඉහළ පෙළේ ලිපිලේඛන හුවමාරු වෙමින් පවතින බවත් එසේ පවරා දෙනු ලැබුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරද පමණක් නොව පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ද වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මින්නේරිය පටපිළිකන්ද ස්වභාවික කදු මුදුනේ නීති විරෝධීව පරිසරය අපහරණය කරමින් ඉදි කර රංජනී පතිරණ හෙවත් එවකට ඇමතිවරයෙකු වූ අර්ල් ගුණසේකර යන අය විසින් පවත්වාගෙන ගිය හෝටලයට එරෙහිව අභියාචනාධිකරණයේ දී 2047/2003 දී ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය හා මින්නේරිය ගම්වාසින් එක්ව නඩුවක් ගොණු කළහ. අභියචනාධිකරණය විසින් ලබා දුන් රීට් ආඥාවට එරෙහිව රංජනි පතිරණ හෙවත් අර්ල් ගුණසේකර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ය.නඩු අංක 78/2006 නඩුව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය හා ගම්වාසින් ජයග්‍රහණය කළ අතර සන්තකයේ පවරා දීම සදහ ගම්වාසින් විසින් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ  නඩුවක් ගොණු කර 2011 ජුලි මස 20 හෝ ආසන්න දිනක දී ප්‍රසිද්ධියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පිස්කල් මගින් භාර දුන්නේ ය.

එවන් තත්ත්වයක් යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම සුවිශේෂී ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරන බවත් ඊට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පරිසරවේදීන් පවසති.

පටපිළිකන්ද නඩුව වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සුරන්ජන් කොඩිතුවක්කු මහතාගෙන් අපි මේ පිළිබදව විමසීමක් කළෙමු.

“ඇතතටම මේ පිළිබදව දැන ගත් විට අපි මවිතයට පත් වුණා.එහෙම මේ හෝටලය පැවරීමක් කරන්න බෑ.ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ මේ ස්ථානධය වන සංරක්ෂණ කටයුතු හා එහි සංවර්ධන ක්‍රියාවන් සදහා විශේෂයෙන් ම වන සංරක්ෂණය පිළිබද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන්න කියලා තමයි අපි කියා තිබුණේ.මේක පුද්ගලයෙකුට හෝ වෙනත් ආයතනයකට පවරන්න බෑ.ඇත්තෙන් ම පරිසරය සම්බන්ධයෙන් අපි මේ නව ජනාධිපතිතුමා සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් කර තිබෙනවා.මේ පරිසර ලේකම්වරයා දන්නෙ නේ මේක පවරන්න බෑ කියලා.අපි මේ ගැන ජනාධිපතිතුමාට කියනව.අධිකරණයට අපහාස වෙන කාරණයක් විතරක් නෙමෙයි පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.ඇත්තෙන්ම මම තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම හි පරිසරයට අදාළ කොටස පවා ලියන්න මුල් වුනේ.ඒ නිසා මෙවැන්නක් කරයි කියලා මට නම් හිතාගන්න බෑ.”

කෙසේ වෙතත් මේ පිළිබදව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියෙකුගෙන් අප කළ විමසුමක දී හෙතෙම පැවසුවේ පටපිළිකන්දේ හෝටලය යුධ හමුදාපතිවරයා ට පැවරීම සම්බන්ධයෙන් තමන්ට ලිපියක් මෙතෙක් නොලැබුණු බවත් පරිසර අමාත්‍යංශයට එවැන්නක් ලැබී ඇති බවට දැන ගත් බවත් ය.

Patapilikanda 2 පටපිළිකන්ද හෝටලයත් හමුදාවට පවරයිද පටපිළිකන්ද හෝටලයත් හමුදාවට පවරයිද

Social Sharing
නවතම