භූමිදානයට බලපාන සංස්කෘතික මිනිසෙකු වීමේ ආනිසංසය.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙනි.

මිනිසා ශිෂ්ටාචාරගත වීමට දීර්ග කාලයක් ගත කර තිබෙනවා. එය ඓතිහාසික ගමනක්. මේ ගමන එන්න තල්ලුවක් දුන්න  පිරිස් අතර ප්‍රමුඛ වෙන්නේ නායක කාරකාදීන් විතරක් නෙමෙයි. පඬිවරුන්, දාර්ශනිකයින්, ආගමික ශාස්තෘවරුන්, විද්‍යාඥයින් එහි ප්‍රමුඛ පිරිසට අයත්.

ශිෂ්ටාචාර ගත වීමට මිනිසා යනු සාමාජීය සත්ත්වයෙකුය යන සාමාජීය සාධකය බෙහෙවින් ම බලපෑම් කර තිබෙනවා. ඒ බලපෑම කොතෙක් ද කියනවා නම් උත්පත්තියකට කුමන හෝ ගැහැණියකගේ කුසකට ආව මොහොතේ සිට මරණය දක්වාම නැතිනම් මරණයෙන් පසුත් සැම මොහොතකම එහි බලපෑමෙන් මිදෙන්න මිනිසුන්ට බැරි වෙලා තියෙනවා.

විශේෂයෙන් ම මිනිසා සමාජ ගත කරන්න ඒ සඳහා දායකත්වය දෙන සමාජානුයෝගී කාරක සමාජ විද්‍යාඥයින් විසින් හඳුන්වා දී තිබෙනවා. පවුල, සමවයස් කණ්ඩායම්, පාසල, ආගමික සංවිධාන, ජනමාධ්‍ය ප්‍රමුඛ සමාජානුයෝගී කාරකයි.

නමුත් වර්තමානයේ නව කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමගම මේ සමාජානුයෝගී කාරකවල කාර්යභාරය නිසි සේ ඉ‍ටු කරෙන්නේ ද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවක්.

මෙම වෛරසය ව්‍යාප්තියත් සමග මිනිස් සම්බන්ධතා සීමා කර තිබෙනවා. ඒ සීමා කිරීමත් සමග නව සංස්කෘතික විපර්යාශයක් හා විලෝපනයක් සිදු වෙමින් පවතින බව තාමත් ලෝකයට එපමණ තදින් දැනී නැහැ. මෙම විපර්යාසය හා විලෝපනය  තුළින් පැන නගින අනාගත සංස්කෘතික ප්‍රවාහය කෙබඳු ස්වරූපයක් ගනු ඇත් ද?

මේ පිළිබඳව ලෝකය පුරා සමාජ විද්‍යාඥයින්, සමාජ මානව විද්‍යාඥයින්, මනෝ විද්‍යාඥයින්, අධ්‍යාපනඥයින්  පර්යේෂණ දියත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවට නම් සැකයක් නැහැ.

කොහොම වුනත් මිනිසා ශිෂ්ටාචාරගත කළ ආදි කල්පිත තිරස්චීන සම්ප්‍රදායන් උඩුයටිකුරු වෙමින් සුනු විසුනු වෙමින් තිබෙන කාලවකවානුවක් අපි පසු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන දෙයක්.

උත්පත්තියට පෙරුම් පුරන මොහොතේ ඉඳලා මරණය දක්වාත් එතැනින් මතුවටත් සංස්කෘතික සම්ප්‍රදායන් මත හැඩගැහුනු මානව සමාජය ඒවා පැත්තකට දාලා ජීවත් වෙන්න හදනවා.

එහෙම පුළුවන් ද? අපේ රටේ මේ වන විට ආන්දෝලනයට තුඩු දුන් සංස්කෘතික කාරණයක් තමයි කෙනෙක් මිය ගිය පසු ඔහු හෝ ඇය හෝ වෙනුවෙන් සිදු කරනු ලබන වතාවත් නැතිනම් සිරිත් විරිත් එහෙමත් නැත්නම් ආගමික සිරිත් විරිත්.

බහු සංස්කෘතික සමාජ සන්දර්භයක් වන ශ්‍රී ලංකාව තුළ ලාංකීය නම් මහා සංස්කෘතිය තුළ ඒ ඒ ආගමික හෝ වාර්ගික හෝ උපසංස්කෘතික කණ්ඩායම් තුළ ඔවුනොවුන්ගේ උපසංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කර ගනිමින් එම සංස්කෘතික හර පද්ධතීන් නැතිනම් සංස්කෘතික වටිනාකම්, ප්‍රතිමාණයන් අනාදිමත් කාලයක සිට පවත්වාගෙන ආවා.

නමුත් දැන් ඒ පවත්වාගෙන ආ උප සංස්කෘතික හර පද්ධතීන්, ප්‍රතිමාණ ඇස් පනාපිටම බිඳ දමන්නට සිදුව තිබෙනවා. බොදුනු සංස්කෘතිය තුළ කෙනෙකු මිය ගිය පසු සිදු කෙරෙන ආගමික චාරිත්‍ර වාරිත්‍ර හා ආචාර විධි කිතුණු උප සංස්කෘතිය තුළ වෙනස් මුහුණුවරක් ගන්නවා.

ඊට වෙනස් මුහුණුවරක් තමයි මුසල්මානුවන්ගේ පවතින්නේ. හින්දූන්ගේ උපසංස්කෘතික වටිනාකම් හා හරපද්ධතීන් ද ඔවුනටම අනන්‍ය වූ එකක්. මේ සියලුම උප සංස්කෘතික සන්දර්භයන් තුළ කෙරුණු චාරිත්‍ර වාරිත්‍ර හා ඇවතුම් පැවතුම්වලින් ඉ‍ටු වූ ප්‍රධාන කාර්යයන් දෙකක් තිබෙනවා.

එයින් පළමු වැන්න මියගිය තම ඥාතියාගේ වෙන් වීම නිසා දුකට වේදනාවට තැවීමට චිත්ත පීඩාවට පත් වූ අයගේ එම පීඩාවන් තුනී කිරීම. දෙවැන්න ඊළග පරම්පරාවට මෙවන් අවස්ථාවක දී හැසිරිය යුතු ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අවිධිමත්ව  අධ්‍යාපනයක් ලබා දීම. දැන් මේ කොරෝනා තත්ත්වය තුළ ඒ දෙකම සිදු වෙනවාද?

සිංහල බුදුනු ජන සමාජයේ කෙනෙකු මිය ගිය පසු ඒ මෘත කලේබරය නිවසේ තබා ගෙන අනිත්‍යය මෙනෙහි කරමින් පවුලේ සාමාජිකයන්ගේ දුක් ගනිමින් දුක තුනී කිරීමේ විවිධ වත් පිළිවෙත් අදටත් ඇතැම් ඈත පළාත්වල සිදු වෙනවා.

ඉන් එකක් තමයි මෘත කලේබරය අසල තනි නොතනියට පිරිසක් එක් ‍රැස්වී වෙස්සන්තය ගායනය කිරීම. එය පද්‍ය සංග්‍රහයක්. පැරණි වෙස්සන්තරය ඉතාමත් සංවේදී ස්වරයෙන් වැලපුම් ස්වරයෙන් බොහෝ ඈතට ඇසෙන සේ ගායනයේ යෙදෙනවා.

එයින් පවුලේ ජීවත්වන සාමාජිකයන්ට තමට අහිමි වූ සමීපතමයා වෙනුවෙන් හැමෝම දුක්වන බවත් තමන් තනි වී නැති බවත් තමන්ට පිරිසක් සිටින බවත් හැගෙන්නට පටන් ගන්නවා.

දින තුනක් තිස්සේ රාත්‍රී කාලයේ එක දිගට ගායනා කරන මෙම වැලපුම් ස්වරයේ කවි ඇසීමෙන් ම සිය මනස තුළ පැවති ව්‍යාකූල බව පහව වෙන්න පටන් ගන්නවා. එය සමාජ විද්‍යාත්මකවත් මනෝ විද්‍යාත්මකවත් විග්‍රහ කර බැලුවොත් පුද්ගලයෙකුගේ බලවත් චිත්තපීඩාවක් සමනය කරන්න තිබෙන ඉතාම හොන්නද ඔසුවක් ලෙස සලකන්නත් පුළුවන්.

නමුත් දැන් උද්ගතවෙලා තියෙන්නේ මිනිස්සු ‍රැස් කරන්න බැරි මියගිය පසු ඉතාම ඉක්මනින් ආදාහනය කරන්න ඕනෑය කියන නීතියක්. එය ලෝක සෞඛ්‍ය සංවිධානයත් මෙරට සෞඛ්‍ය අංශත් කියන කතාවක්.

මේ නිසා අපගේ මේ සටහන  බොදුනු, ක‍තෝලික, මුසල්මාන, හින්දු යන ආගමික සන්දර්භ තුළ සමාජ ගත කොට තිබූ උප සංස්කෘතික අනන්‍යතා පිළිබඳව විමසා බැලීමක් විදිහට තමයි සටහන් වෙන්නේ.

බොදුනු අයෙකු මියගිය පසු දින තුනක් පමණ නිවසේ හෝ තමන්ට මෘත දේහය තබා ගැනීමට හැකි තැනක එය තමා ඥාති මිත්‍රාදීන් ට අවසන් ගෞරව දැක්වීමටත් පවුලේ ජීවත්ව ඉන්න අයත් සමග දුක බෙදාගැනීමටත් අවකාශ සලසනවා.

එහි දී වැඩි වශයෙන් ම අනිත්‍යතාව මෙනෙහි කිරීම ඉපදෙන සියල්ලන් මියයන බව සිහි කෙරෙන වාර ගණන ඉතාම විශාලයි.

ඒ වගේම අවසාන දිනයේ මහා සංඝරත්නය වඩම්මා අනිත්‍ය ප්‍රති සංයුක්ත ධර්ම දේශනා හා පාංශුකූල, පැන් වැඩීම් මියගිය ප්‍රාණියාට පිං පෙත් වැඩීම, නිවන් දොර ප්‍රාර්ථනා කිරීම සිදු කෙරෙනවා.

අර මුලින් කී වෙස්සන්තරය කියවීමත් ඇතැම් ප්‍රදේශවල තාමත් සිදු වෙනවා. මෘත දේහය ආදාහනය කිරීමට හෝ භූමිදානය කිරීමට හෝ තැන්පත් ක්‍රීමට හෝ පෙර දින 3ක් තිස්සේ මිනිය තනිකරන්නේ නෑ.

කවුරුන් හෝ ඒ අසල සිටිනවා සැම මොහොතකම.දෙපසින් දැල්වෙන පහන් දෙකෙන් අනිත්‍යය මෙනෙහි කරනවා පමණක් නොව විශබීජ හරණයට ද උපකාර කෙරෙනවා.

ඊළගට ආදාහනය කරන්නේ නම් එහි ද චාරිත්‍ර වාරිත්‍ර විදි රාශියක් තිබෙනවා. මේවායෙහි ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් තිබෙනවා. කොහොම වුනත් භික්ෂූන් වහන්සේ ලවා පාංසුකූලය දීමත් අනිත්‍ය ප්‍රති සංයුක්ත ධර්ම දේශනය හා පිං පැමිණවීම සිදු කිරීමත් කළ නොහැකි වුවහොත් ජීවතුන් අතර සිටින ළඟම ඥාතීන් ට ඒ පීඩාව සමහර විට  තමන් ද මිය යන තෙක් පවතින්න පුළුවන්.

එය හරියට යුද්ධයෙන් අතුරුදන් වූ කෙනෙකු පිළිබඳව මුලු ජීවිත කාලය පුරාම අද එයි හෙට එයි කිය කියා බලා ඉන්නවා වගේ වැඩක්.හැබැයි කොරෝනා නිසා දැන් විශේෂයෙන් ම කොරෝනා මරණයක් නම් මේ කිසි දෙයක් කර කියා ගත නොහැකිව අසරණවන මිනිස්සු ඒ පීඩාව ජීවිත කාලය පුරාම විදින්න ගත්තොත් අනාගත සමාජය මානසික ව්‍යාධීන්ගෙන් පිරුණු එකක් වෙන්න බැරි නෑ.

හින්දූන්ගේත් අවසන් බුහුමන් දැක්වීමේ ආචාර විධි රාශියක් තියෙනවා. සාමාන්‍යයෙන් ද්‍රවිඩ අයෙකු මියගිය විට මුසල්මානුවන් වගේම මියගිය අයගේ සිරුර පිරිසිදු ජලයෙන් නැහැවීම සිද්ධ කරනවා.

ඉන් පස්සේ පිරිමියෙක් නම් ඉස්තරම්ම අයුරින් ඇදුම් අන්දනවා.එය වේට්ටිය විය හැකියි. ගැහැණු නම් මංගල දා හැඳි සාරිය හා ආභරණ සමග සැරසිලි කරනවා. මියගිය අයට වඩා වයසින් අඩු අය මියගිය අයගේ කකුල් සේදීමට දායක වෙනවා.

පිරිසිදු ඉස්තරම් ඇඳුම් පැළදුම් අන්දවා තැබූ පසු මුහුණේ විශේෂයෙන් ම කට දෙපැත්තේ සහල් හා කහ කුඩු මිශ්‍රණයක් තවරනවා. වැඩි පුරම සිද්ධ වෙන්නේ ආදාහණය කිරීම. භූමිදානයත් සිදු වෙනවා.

ඒක සිද්ධ වෙන්නේ වත් පොහොසත්කම් හා කුල පදනම් අනුවයි. භූමිදාන කළත් ඒ භූමිදාන කළ තැන ක‍ටුපදුරු ආදිය දාලා ආරක්ෂා කරනවා.

දින 3වන දවසේ එතැනට නැවුම් එලකිරි හෝ මීකිරි බෝතලයක් ගෙනයනවා. කුරුම්බා ගෙඩියක් ද සමග. ඒ කුරුම්බා ගෙඩියේ ඇස්ස කපා පානය කළ හැකි ආකාරයටයි සකස් කරගන්නේ. අර කිරි බෝතලයත් කුරුම්බා ගෙඩියත් තියලා වැඳලා පුද පූජා කරලා එනවා. විශේෂයෙන් ම ආදාහනය කරන අයගේ දවස් 3කින් මිනී අලු ගංගා දියට පා කිරීමේ චාරිත්‍රයක් සිදු කරනවා.

ඒකෙන් අපේක්ෂා කරන්නේ ගංගාව ශිව දෙවියන්ගේ පාදමූලය වෙත ගමන් කරන එකක් නිසා අර පා කර හරින අලු ශිව දෙවියන්ගේ පාදමූලයට ළගා වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා.

බොදුනුවන්ගේ අවසන් අපේක්ෂාව නිවන වාගේ හින්දූන්ගේ අවසන් අපේක්ෂාව ශිව දෙවියන් හා එක්වීම. මුසල්මානයන්ගේ අපේක්ෂාව අල්ලාහ්තාලා සමීපයට යෑම ස්වර්ගස්ථ වීම, කිතුනුවන්ගේ අපේක්ෂාවත් දෙවියන් හා ඒකාත්මික වීම ස්වර්ගයට යාම.

මේ සියල්ල සස්කෘතික මිනිසෙකු නිර්මාණය කළ මහා සමාජය විසින් අනාදිමත් කාලයක සිට පවත්වාගෙන ආ දේවල්. ඒවාට  බලපෑම් එල්ල වුණාම සිත් බිදවැටීම්, මානසික කම්පන තත්ත්වයන් ඇතිවීම ස්වභාවික සංසිද්ධියක්.

දැන් අපි බැලුවොත් මුසල්මාන උපසංස්කෘතික ලක්ෂණ දෙස හැරිලා එය තවත් බරපතල කරවන්නක්. ඔවුන්ගේ පල්ලිය හා කුරුආණය කියන්නේ කුමක් ද එය දැඩි ලෙස රකින්න උත්සාහ ගන්න උපසංස්කෘතික සමාජ කණ්ඩායමක් තමයි මුසල්මානයින්.

ඔවුන්ගේ කෙනෙකු මියගිය හොත් ප්‍රධාන කටයුතු 4ක් ඉ‍ටු කරන්න ඕන. ඒක නබිනායක තුමා කියා ඇති පරිදිම කළ යුතු වෙනවා. මුසල්මාන සමාජයේ කිසියම් අයෙකු මියගිය පසු ඒ දේහය සම්පූර්ණයෙන් ම නහවා පිරිසිදු කිරීම (කුලිපාට්ටල්)සිදු කෙරෙනවා.

මේ පිරිසිදු කිරීමෙන් අපේක්ෂා කරන්නේ මියගිය ප්‍රාණියාගේ පවු ඇත්නම් ස්වර්ගයට යාමට පෙර ඒවා සෝදා හැරීම හෝ අල්ලාහ්තාලා වෙත පිරිසිදු ව ළඟා වීම යන දේවල්. දෙවැන්න නහවා පිරිසිදු කළ මෘත දේහයට පිරිසිදු රෙද්දක් ඇන්දවීම (කෆන්) එය පිරිසිදු සුදු රෙදිකඩක්.

සාමාන්‍යයෙන් මුළු ශරීරයම වැසෙන සේ එම රෙදි කඩෙන් ශරීරය ඔතනවා. ඉන් පසු සියලු දෙනාම එක් වී ප්‍රාර්ථනා කරනවා. මෙය තොළු විත්දල් යනුවෙන් හඳුන්වනවා. එතැන දී මියගිය අයගෙන් වැ‍රැද්දක් වී තිබේ නම් හෝ ගණුදෙණුවක්,  ණය ගෙවීමක් වැනි දේ තිබේ නම් හෝ ඒ පිළිබඳවත් කතා කරනවා.

එහිදී වැ‍රැද්දක් මියගිය අයගෙන් සිදුව තිබේනම් අල්ලාහ්තාලා වෙනුවෙන් එයට සමාව දීමත් මියගිය අයට ජීවතුන් අතර සිටින අයගෙන් වැ‍රැද්දක් වී තිබේ නම් අවසන්වරට මියගිය අයගෙන් ද සමාව ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මියගිය අය ණයට කාගෙන් හෝ අරගෙන තිබේ නම් ඒ ණය ගෙවීම ගැන පවුලේ ළඟම ඥාතීන්ගෙන් විමසා ඒ ණය ගෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙනවා.

ඒ වගේම වෙනත් අයෙක් මියගිය අයට ණය වී ඇත්නම් ඒවා ළඟ ම ඥාතින්ට ලබා දීමට අවශ්‍ය ප්‍රතිඥාවක් ද මෙහි දී ලබා දෙනවා. ඒ වගේම අවසන් ගෞරව දැක්වීමට පැමිණ නැති කෙනෙකුට එවැන්නක් සිදුව තිබේනම් ඒ අයටද මෙම පණිවිඩය ලබා දී අවශ්‍ය කටයුතු කරන්න පල්ලියේ පූජකතුමා උපදෙස් දෙනවා.

හතර වැන්න තමයි මියගිය අයෙක් ඉතාමත් ඉක්මනින් භූමිදානය කිරීම සිදු කරන්න ඕනෑ කියන එක. නබිනායක තුමා භූමිදානය කළ පරිදිම මියගිය අයගේ භූමිදාන කටයුත්ත සිදු වියයුතුයි. අඩකම් සෙයිදල් කියලා කියන්නේ ඒකට.

මුසල්මාන විශ්වාසය නම් ඉපදෙන සියලු දෙනා පසෙන් නිර්මාණය වී ඇති හෙයින් ආපසු පසටම එක් විය යුතු බවයි. එසේ පසටම එක් වීමෙන් පමණයි ස්වර්ගස්ථ වෙන්න පුලුවන්. මෙය ජෛන හා හින්දු සම්ප්‍රදායේ එන පංච මහා භූතයන්ට යලි එක් වීමක් ලෙසත් සලකන්න පුළුවන්.

පසට එක් වීම යන්නෙන් අදහස් කරන්නේ එවැන්නක්. හැබැයි කිසියම් මිනියක් භූමිදානය කරන්න බැරි වුණොත් ඒක දැඩි පාපයක්. ඒ පාපයෙන් මියගිය අයගේ පවුලේ සියලු සාමාජිකයන්ට පමණක්  නෙමෙයි මුලු ගමේම ප්‍රජාවට පාපයක් අත් වෙනවා.

කිහිප දෙනෙක් එකතු වෙලා හරි භූමිදානය කරන්න ඕන. එසේ නැති නම් ඒ ප්‍රජාවටම එහි බරපතල වැ‍රැද්දක්, පාපයක් එක් වෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වැ‍රැද්දේ වන්දිය ඒ පාපය සියලු ප්‍රජාවටම විඳින්න සිද්ධ වෙන බවයි ඔවුන්ගේ විශ්වාසය.

අල් කුරු ආණයේ 5 වන ඣේදයේ 31 වැනි පාඨායත් 50 වැනි ඡේදයේ 3,4 පාඨත් ඒ පිළිබඳව පැහැදිලි ලෙසම දක්වා තිබෙන බවයි මුසල්මානුවන් පවසන්නේ.

දැන් උද්ගතව තිබෙන ප්‍රශ්නයත් එයයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා භූමිදාන සිදු කිරීමට ඉඩක් නෑ. මේ තත්ත්වයෙන් මුලු මහත් මුස්ලිම් සමාජයම කම්පනයට පත්ව සිටිනවා. තමන් ට දෙවියන් පැනවූ නීතිය උල්ලංඝනය කරන්නට සිදු වීම ගැන බරපතල වෙදනාවක්  ඇතිව තිබෙනවා.

දිනකට 5 වතාවක් අනිවාර්යයෙන් ආගම අදහන ඔවුන් කුරු ආණයේ නීතිය පිළිපදින්න ගන්නේ පුදුමාකාර භක්තියකින්. ඒක වෙනස් කරන්න එකවර පුලුවන්කමක් නෑ. ඒ සඳහා ඔවුන්ට ආමන්ත්‍රණය කළ යුතුයි. කුරු ආණයේ භූමිදානයට ප්‍රතිපාදන සලසලා තිබෙනවා පමණක් නොවෙයි කිසියම් මිනියක් නිසා ඒ මිනිය හේතුවෙන් ප්‍රාජාවට හෝ පරිසරයට හෝ අගතියක්, නැතිනම් සමාජයට හෝ පරිසරයට හානියක් සිදු වෙයි නම් හෝ එවන් දේහයක් ආදාහනය කළ හැකියි.

එයත් විද්‍යාත්මකව එසේ පරිසරයට හෝ සමාජයට හෝ හානි සිදුවන බවට ඔප්පු කළ හොත් පමණයි.

දැන් ප්‍රශ්නය මතුව තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ තුළ මුසල්මාන මෘත දේහ භූමිදානයට ද ප්‍රතිපාදන ලැබී තිබීමයි. මෙය ඒ සංස්කෘතියට හිමිව තිබෙන සංස්කෘතික අයිතියක් බව එයින් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා.

සංස්කෘතික ප්‍රවාහයන් එක්වරම සුනු විසුනු කර දැමීම දැඩි සමාජ විලෝපනයන් නිර්මාණය කරන්නක්. ඒ නිසා ගැඹුරින් සලකා බැලිය යුතු කාරණයක් මෙය. නමුත් ඔවුන්ගේ ආගමික විශ්වාස තුළ යම් ප්‍රතිපාදනයක් වෙන්ව තිබෙනවා නම් ආදාහනයටත් ඒ සඳහා තහවුරුකරන ලද විද්‍යාත්මක කරුණු මුසල්මාන සමාජය වෙත සමාජ ගත කළ යුතුයි.

එය කළ හැක්කේත් පල්ලිය මගින්.දේශපාලන වේදිකාවල හෝ විවිධ මාධ්‍ය සන්දර්ශනවල දී හෝ නොවේ. ප්‍රස්තුත කාරණය හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.

බොදුනුවාට පාංශුකූලය දීගන්න බැරි වුනාම ඇතිවන කම්පනයත් කිතුනුවාට භූමිදානයේදී හෝ ආදාහනයේ දී හෝ පල්ලියේ පූජකතුමන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ආගමික චාරිත්‍ර අවස්ථා 03ත් අහිමි වුවහොත් හින්දූන් ට ආදාහනයෙන් පසු 3 වන දිනයේ දී ගංගා ජලයට අලු මුසු කර ශිව පාදමූලයට එක්වන ලෙස කෙරෙන පුදපූජා පැවැත්වීමට නොහැකි වුවහොත් හෝ ඇතිවන කම්පන තත්ත්වය සරල නෑ.මොකද මිනිසා ඒ ඒ  රටවල ඒ ඒ සමාජ සන්දර්භයන් තුළ සංස්කෘතික මිනිසෙකු වී හමාර නිසා.

එහෙමනම් සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමේ කාර්යයෙන් ඉහත කී ආයතන වැලකී ඉන්න ඕන. එසේ වුවහොත් සිදුවන්නේ ශිෂ්ටාචාරගත වීමක් ද? ආපසු යාමක් ද? ප්‍රබල සමාජානුයෝගී කාරකයක් වන ආගමික සංවිධාන විසින් පුද්ගලයා සංස්කෘතික සත්වයෙකු කිරීමට ඉ‍ටු කර තිබෙන කාර්යභාරය එයින් ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා.

ආගමික සංවිධානය පමණක් නොවෙයි මේ සංස්කෘතික සත්වයෙකු බවට පුද්ගලයා පත් කිරීමට දායක වූ සෑම සමාජානුයෝගී කාරකයක් ම ප්‍රශ්නකෙරෙනවා මේ හරහා. එබැවින් මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතුයි.

බහු සංස්කෘතික රටක බහු සංස්කෘතික අනන්‍යතා ආරක්ෂා කර ගැනීමට නම් මේ සම්බන්ධයෙන් ගැඹුරු සිතා බැලීමක් අවශ්‍යයි. කැමති ආගම දහමක් ඇදහීමට විශ්වාසයක එල්බ ගැනීමට සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකමක් තිබෙනවා.

දැන් කොරෝනා තත්ත්වය නිසා අපේ රටේ පාංශු ජලය නැතිනම් භූගත ජල මට්ටමත් සැලකිල්ලට ගන්නේ නම් භූමිදානය වෙනුවට ආදාහනය පමණක් සිදු කරන්නේ නම් ඒ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඒ ඒ සංස්කෘතික කණ්ඩායම්වල ප්‍රධානීන් විශේෂයෙන් ම ආගමික නායකයින් වෙත පැහැදිලි සන්නිවේදනයක් කළ යුතුයි.

ඒ හරහා ආගමික ස්ථාන මගින් පොදු මහජනතාව දැනුම්වත් කළ යුතුයි.ක‍තෝලික ආගමික විශ්වාස හා හරපද්ධතිය පමණක් සැලකිල්ලට ගන්නේ නම් හෝ වෙනත් ආගමික විශ්වාස හෝ හරපද්ධති පමණක් සැලකිල්ලට ගන්නේ නම් හෝ සිදු වන්නේ අගතියක්.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනුත් මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියෙනුත් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම තුළින් අපට අදට යෙදෙන ලෝක මානව හිමිකම් දිනයේ තවත් ලෝක අපවාදයකට ගොදුරුවීමේ අවදානම දුරු කරගන්න බෑ.

 

-ප්‍රියන්ත බණ්ඩාර-

Social Sharing
නවතම