මරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!

සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටියි.

1998 වසරේ සිට සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ හමුවේදී ඔහු පෙන්වා දී ඇත.

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බවත් වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බව අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටිති.  මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500 ක් පමණ බන්ධනාගරගතව සිටින අතර  ඉන් 8500 ක් හෙරොයින් සම්බන්ධ වැරදිවලට වරදකරුවන් වූවන් වේ.

අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියා සිටින්නේ මෙම මරණ දඬුවම හිමිවුවන්ගේ කාලය වසර 20 කට අඩු කරන්නේ පියවර කිහිපයක් ඔස්සේ බවය. එනම්,

  1. මරණ දඩුවම නියමව සිටින සිරකරුවන් නිශ්චිත කාලයක් ගත කළ පසු යහපත් හැසිරීම මත ජීවිතාන්ත සිරකරුවන් බවට පත් කිරීම.
  2. ජීවිතාන්ත සිරකරුවන් යම් කාලයක් ගත කළ පසු යහපත් හැසිරීම හා පුනරුත්ථාපනය වීම සලකා බලා සිව් වස්, අට වස් හා දොළොස් වස් ආදී වශයෙන් සලකා ඔවුන්ගේ අපරාද චර්යා පිළිබද නිරීක්ෂණය කර දඩුවමේ යම් අඩුකිරීමකට නිර්දේශ ඉදිරිපත් කිරීම.
  3. දීර්ඝකාලීන සිරකරුවන් සදහා යම් කාලයක් ගත කළ පසු යහපත් හැසිරීම හා පුනරුත්ථාපනය වීම සලකා බලා සිව් වස්, අට වස් හා දොළොස් වස් ආදී වශයෙන් සලකා ඔවුන්ගේ අපරාද චර්යාවන් පිළිබද නිරීක්ෂණය කර දඩුවමේ යම් අඩුකිරීමකට නිර්දේශ ඉදිරිපත් කිරීම.
  4. මෙම ක්‍රියාවලිය සිදු කිරීමේදී පුද්ගලයාගේ අපරාධ චර්යාව වෙනස් වී ඇත්ද, පුනරුත්ථාපනය වී ඇත්ද, බන්ධනාගාර තුළ චෝදනාවන්ට ලක්වී ඇත්ද යන කරුණු සමාලෝචනය කර සලකා බලනු ඇත.
  5. මෙම ක්‍රියාවලිය තුළ කිසිදු අවස්ථාවක යහපත් හැසිරීමක් නොමැති පුනරුත්ථාපනය නොවූ සිරකරුවන් සමාජගත නොවනු ඇත.
  6. එසේම මෙම සමාලෝචන වාර්තා අධ්‍යනය කිරීමට විද්වත් කමිටුවක් පත් කරනු ඇත.
  7. එසේම සානුකම්පිත හේතු මත දඩ ගෙවාගත නොහැකි සිරකරුවන් නිදහස් කිරීමටත්, ඇප ලබාදී ඇප තබාගැනීමට නොහැකි සිරකරුවන් ඇප කොන්දේසි ලිහිල් කිරීමට අදාළ අධිකරණ වලට කරුණු දැක්වීමටත් කටයුතු කරනු ඇත.
  8. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සුළු වශයෙන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති සිරකරුවන් සදහා ඇප ලබාදීම ගරු නීතිපතිතුමා හා පොලිස්පතිතුමා සමග අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරණු ඇත.
  9. ඉදිරියේදී මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කිරීම යනාදිය මෙහිදී සැලකිල්ලට ගන්නා බව පවසයි.

මෙය  ජනාධිපති කාර්යාලය, බන්ධනාගාර කලමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පූර්ණ අධීක්ෂණයෙන් හා මැදිහත්වීම මත මෙම සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම