කොරෝනා නිවාරණ පැණිය නිසා පැණි පොකුරක්?

කොවිඩ් මර්දනය කළ හැකි බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවු දේශීය පැණිය ගැන දැන් රටේ නොදන්නා කෙනෙකු නැත. තවමත් සායනික පර්යේෂණ මට්ටමේ ඒ බෙහෙත පැවතියත් රටේ සියලු දෙනාම පාහේ ඒ දේශීය පැණිය ගැන දැඩි උනන්දුවක් දැක්වුයේ දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා යන කියමන මොනවට තහවුරු කරමිනි.

කවුද මේ ධම්මික බණ්ඩාර

මොහු කෑගල්ල, උඩුමාගම කාලි දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. ඔහුගේ මුල් නම වන්නේ අප්පු කුට්ටි කංකානම්ලාගේ ධනපාලය. කෑගල්ල මාතුර හෙට්ටිමුල්ලේ උපන් ඔහු වසර 25 ක පමණ කාලයක සිට  උඩුමාගම අඹවල ප්‍රදේශයේ පදිංචිව සිටියි. විවිධ කලා හැකියාවන් ඇති මොහු ගීත ගැයීමට, ඩොල්කි ගැසීමට රූකඩ නැටවීමට මෙන්ම කැටයම්වලටද නම් දැරූ අයෙකි.  වඩු වැඩ කරමින් සිය ජීවිකාව ගෙන ගිය ධම්මික බණ්ඩාර  කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව කියමින් දේවාලයක් ඉදි කළේ මීට වසර කිහිපයකට පෙරයි. එතැන් පටන් ඔහු ධම්මික කපු  මහත්තයා කියනවාට වඩා කැමති වුයේ කාලි මෑණියන් ලෙස ඔහුව හඳුන්වා දීමටය. එමෙන්ම ඔහු යමෙකුට තමන්ව හඳුන්වා දෙන්නේ උඩුමාගම මහාවීර බද්‍ර කාලී දේවාලයේ ධර්මාචාර්ය, පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙසිනි.

කිසිදු පාරම්පරික හෝ දේශීය වෛද්‍යවරයෙකු නොවන මොහු නිපදවු කියන මේ කොවිඩ් මර්දන පැණිය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙන යන්නේ ප්‍රබල දේශපාලඥයෙකුගේ සබඳතා හරහාය.

ශ්‍රි වීර භද්‍රධම්ම කොරෝනා නිවාරණ ප්‍රතිශක්ති ජීව පානය

ලංකාවේ දේශීය ඖෂධ හතරක් භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති මෙම ජීව පානය තුල සාදික්කා හා මී පැමිණි ද අඩංගු වේ. මෙය රාවණා යුගයේ සිට පැවත එන බෙහෙත් වට්ටෝරුවක් වන අතර දිෂ්ටි බලයකින් මෙය නිපදවන ලබන බවද කියැවේ.  වැඩිහිටි රෝගියකු මෙම පැණියෙන් මේස හැන්දෙන් හතරක් දිනපතා උදේ සවස පානය කළ යුතුය.

ධම්මික මහතා ඔහුගේ මෙම පැණිය වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන් 146 දෙනකු සඳහා ලබා දී ඇති අතර සිව් දිනක් යනවිට ඒ සියලු දෙනාම සුව වී සිටි බවද කියයි. එමෙන්ම ඔහු  පවසන්නේ ලංකාවේ වාර්තා වනකොවිඩ් ආසාදිත  සියලු දෙනාම මෙය භාවිතා කළහොත් නැවත රෝගය වැලඳෙන්නේ නැති බවය.

අතිරේක ආහාරයක් ලෙස

කොරොනා වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ආහාර අතිරේකයක්  ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පිලිගෙන ඇත.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ප්‍රතිකර්ම පිළිබඳ ජාතික කමිටුව විසින් එම ඖෂධය ආහාර අතිරේකයක් ලෙස හඳුනාගත් බවයි.

එය සකස් කර ඇත්තේ මී පැණි, සාදික්කා වැනි එදිනෙදා භාවිතා කරන ශරීරයට අහිතකර නොවන දේවලින් නිසා අමාත්‍යංශය යටතේ ඇති ඖෂධ අනුමත සූත‍්‍ර කමිටුව මගින් අනුමත කළ බවද ඔහු සඳහන් කළේය.

තෝරාගත් මාධ්‍ය කිහිපයක් හැර සෙසු මාධ්‍ය මඟ හැරිම

ධම්මික වෙද මහතාගේ මේ පැණිය ප්‍රසිද්ධ විමත් සමඟ ඔහු තෝරාගත් මාධ්‍ය නාලිකා කිහිපයක් සමඟ පමණක් මාධ්‍ය ඉදිරියට පැමිණියද සියලුම මාධ්‍ය වලට මුහුණ දීමට ඔහු ඉදිරිපත් වන්නේ නැත. පුවත්පත් වලින් ආදිය ඔහුට දුරකථන ඇමතුම් ලබා ගත් විට ඊට පිලිතුරු සපයන්නේ ඉන්දික නැමැත්තෙකි. ඔහු පවසන්නේ වෙද මහත්තයාට මහන්සි නිසා දුරකථනයට ඒමට නොහැකි බවත් ඇසිමට ඇති දෙයක් ඔහුගෙන් විමසා දැන ගන්නා ලෙසටය.

පැණි දන්සල

මේ අතර ධම්මික වෙද මහතා ඔහුගේ මේ කොවිඩ් මර්දන පැණිය ඊයේ (08) දින සිය දේවාල පරිශ්‍රයේදී  ජනතාවට නොමිලේ බෙදා දීමක් සිදු කළේය. නිවාස 500 ක් ඉලක්ක කර ගනිමින් මෙම බෙහෙත ලබා දිමට ඔහු  පියවර ගත් අතර ඔහුගේ බෙහෙත ලබා ගැනිමට 15,000 කට අධික ජනතාවක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.

නිරෝධායන නිති උල්ලංඝනය කිරීම

කොවිඩ් ආසාදිත කාලාපයක් ලෙස මුලු රටම නම් කර ඇති අවස්ථාවක ඔහු මේ පැණිය බෙදා දෙනු ලැබුයේ කිසිදු සැලැස්මකින් තොරවය. ජනතාව එකා පිට එකා පොර කමින් ඔහුගේ පැණිය ලබා ගැනීමට පොරබැඳු අතර ඇතැම් පිරිස් පැමිණ තිබුණේ පෙර දිනයේ සිටය. කිසිදු මිටරයක පරතරයක් නොතබා මී මැසි පොදියක් මෙන් පෙර බැඳු ජනතාව හා පැමිණි වාහන අධික ලෙස තදබදයට ලක් වීම නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.

මෙම තත්ත්වය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමත් සමඟ වහාම එම පැණිය බෙදා දීම නැවැත්විමට පොලිස් මුල්ස්ථානය කටයුතු කරනු ලැබිය. එමෙන්ම තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන් යොදවා තිබියදිත් එය පාලනය කිරීමට නොහැකි වූයේ මන්ද යන්න පොලිස්පතිවරයා විසින් කෑගල්ල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් වහාම වාර්තාවක්ද කැදවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා විසින් ඊයේ ප්‍රකාශ කර සිටියේය.

ශානිකා

Social Sharing
නවතම විශේෂාංග