බ්‍රැන්ඩික්ස් ආයතනය පිලිබඳ විමර්ශන වාර්තා කෝ?

කොවිඩ් වසංගත දෙවැනි රැල්ල ආරම්භ වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. ඒ පහුගිය ඔක්තෝම්බර් 04 දා එහි කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවක් සොයා ගැනීමත් සමඟය. මෙහිදී ආයතනයේ සේවක සේවිකාවන් දහසක් ඉක්මවා රෝගී වුහ.

එහිදී බ්‍රැන්ඩික්ස් ආයතනයට චෝදනා එල්ල වූයේ සේවක සේවිකාවන් අසනීප තත්ත්ව පෙන්නුම් කරන අවස්ථාවේ එය නොතකා බලධාරීන් විසින් සේවා ලබා ගත් බවටය.

කෙසේ නමුදු කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාව සොයා පහුගිය කාලයේ සෞඛ්‍ය අංශ මට්ටමින්ද, යුද හමුදාවෙන්ද, පොලීසියෙන්ද විමර්ශන ආරම්භ කරනු ලැබුණි. මේ විමර්ශන ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගතවුවද තවමත් එහි විමර්ශන වල ප්‍රගතිය හෝ වාර්තා සම්බන්ධයෙන් කිසිඳු ආකාරයකින් ජනතාවට දැන ගත හැකි වුයේ නැත..

මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ වහාම විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබුණේ පහුගිය ඔක්තෝම්බර් 27 දාය.

ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙය කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන් අතර එහි අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වෙත  පවරන ලදි.

නමුත් එය ඔවුන්ට පවරන විටත් එහි නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බව නීතිපතිවරයා වෙත සැල වී ඇත. ඒ අනුව නීතිපතිවරයා විසින් යළිත් වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ වහාම මෙම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඉවත් කර වෙනත් කොට්ඨාශයකට පවරන ලෙසය. නැතහොත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හරහා කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවට සැක පළ කරනු ලැබුණි.

ඒ අනුව එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරනු ලැබීය. නමුත් සති දෙකක් ඉක්ම ගියද වැඩ බලන පොලිස්පතිවරයා විසින් මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ විමර්ශනයේ වාර්තාවක් නීතිපතිවරයා වෙත ලබා දී තිබුණේ නැත.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා යළිදු වරක් වැඩබලන පොලිස්පතිවරයාගෙන් නොවැම්බර්  (18) දින විමසා ඇති අතර ඒ අදාල පරික්ෂණ කරන නිලධාරීන් කණ්ඩායම නීතිපතිවරයා වෙත කැඳවා තිබේ. එහිදී නීතිපතිවරයා විසින් එම අපරාධ පරීක්ෂණ කණ්ඩායමට උපදෙස් රාශීයක් ලබා දී තිබුණි.

මෙම විමර්ශන වාර්තා පිලිබඳ අද (07) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රශ්න කර සිටියේය. ඒ ස්ථාවර නියෝග විසි දෙක තුන යටතේය.

එහිදී අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර සිටියේ මේ පිලබඳ මාන කිහිපයකින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අනුමාන කරන ලද්දේ විදේශීය රටක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙම රෝගය සම්ප්‍රේෂණය වු බවත්ය.

රාමාඩා හෝටලයේ සිටි යුක්රේන ජාතිකයෙකු කොවිඩ් වැළඳීමෙන් පසුව එහි හෝටල් සේවක කාර්ය මණ්ඩලයටද කොවිඩ් ආසාදිත වූ බවත් ඔවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අය හා සමිපව කටයුතු කල බවට හෙලි වී ඇතැයිද ඇය ප්‍රකාශ කළාය. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට මේ රෝගය බෝ වූයේ ඒ මාර්ගය හරහා බවට අනුමාන කළ හැකි බවද ඇය ප්‍රකාශ කර සිටියාය.

මේ අතර මහජන ආරක්ෂාව භාර අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ නීතිපතිගේ උපදෙස් මත මේ පිලිබඳ කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කල බවත් දින දෙකකට පසුව එහි නිලධාරීන් 70 කට මේ රෝගය ආසාදිත වූ බවත්, 100 දෙනෙකුගේ පමණ ප්‍රකාශ අරන් ඇති බවත් නමුත් මෙය කොහෙන්ද පැමිණියේ කියා තවමත් අනාවරණය වී නැති බවය.

එමෙන්ම මේ පරීක්ෂණ සඳහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 කටද කොවිඩ් ආසාදිත වී ඇතැයිද මේ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා එහි වාර්තාව පාර්ලිමේන්තුවට දන්වන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

-ශානිකා-

Social Sharing
නවතම