අපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන් – මංගල සමරවීර

”පසුගියදා මහර හිරගෙදරදී  තමන්ව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරන්නට කියා උද්ඝෝෂණය කරපු සිරකරුවන් පිරිසක් මරාදාලා තිබුන හැටි අපි දැක්කා.

ඒ වෙලාවේ  හිරගෙදර  ඉදිරිපිට දී, තමන්ගේ දරුවන්ගේ ජීවිත ඉල්ලලා අඬා වැටුණු අම්මලාගේ කඳුලු දැකලා මට මතක් වුනේ, මීට අවුරුදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන ආ, දකුණේ අම්මලාගේ කුඳුළු.

ඒ අම්මලා එදා කඳුලු හෙලුවේ අතුරුදහන් කරපු ඝාතනය කරපු දරුවන් වෙනුවෙන්. ඉන් පසුව උතුරේ අම්මලාගේ කඳුලුත් අපි දැක්කා.

මේ රටේ ත්‍රස්තවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ පමණක් නොව  රාජ්‍ය ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පතුවූ දරුවන්ගේ ඥාතීන්ගේ කඳලුත් අපි දැක්කා.

අපි  මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන්.

Mangala Samaraweera's statement on the Mahara prison killings එදා දකුණේ මරපු සිංහල තරුණයොත්, පසුව උතුරේ මරපු දෙමළ තරුණයෝත්, ඊයේ මහර හිර ගෙදරදී ඝාතනය වූ තරුණයෝත්, 2012 දී වැලිඩක හිරගෙදරදී ඝාතනය වූ තරුණයොත්, අපේ රටේ අපේම දරුවන්.

මේ විදිහට බලනකොට නිදහසින් පස්සේ අපිට හිමිවෙලා තියෙන්නේ අම්මලාගේ කඳුලු ගංඟාවක් විතරයි. අපේ අම්මලාගේ කඳුලු ගංඟා නවත්තන්නේ කොහොමද කියලා. දැන්වත් අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්නට ඕනේ.

අපේම දරුවන්ගේ ජීවිත, අන්තවාදය කරා තල්ලු වෙන්නේ කුමන හේතූන් නිසාද කියලා අපි හිතන්නෙට ඕනේ.

අපේ දරුවන් කුඩු මුදුලාලිලාගේ ගොදරු බවට පත්වෙන්නේ ඇයි කියලත් අපි හිතන්නට ඕනේ.

අපේ දරුවන් අපරාධකරුවන් බවට පත්වීමේ වගකීමත් රටක් හැටියට අපි ගන්නට ඕනේ.

එපමණක් නොව පික්පොකට්කාරයෙක් වෙන්නට පුලුවන්, කුඩුකාරයෙක් වෙන්නට පුලුවන්, අපරාධකරුවෙක් වෙන්නට පුලුවන්, ත්‍රස්තවාදියෙක් හෝ අන්තවාදියෙක් වෙන්නට පුලුවන්, ඒ හැමෝටම නීතියේ රැකවරණය සහතික කළ යුතුයි.

ශිෂ්ඨ සම්පන්න රටක මූලධර්මය ඒක.

එක රටක් එක නීතියක් කියන එක වචන සෙට් එකකට සීමා නොකර, සැබෑවක් කරගන්නේ කොහොමද කියලා රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමියෝ හිතන්නට ඕනේ.

Social Sharing
නවතම