BBC වැනි මාධ්‍ය ආයතනයක් ගත්තේ නොගත යුතු පියවරක්!- FMM කියයි

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව ගැටලු රැසක් මතු වී ඇති  හා මානව හිමිකම් ගැටළු උග්‍ර වෙමින් පවතින අවස්ථාවක සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

”සංදේශය ගුවන් විදුලි වැඩ සටහන” 2020 දෙසැම්බර් 1 වෙනිදා සිට නවතා දැමීමට  තීරණය කිරීම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය අවකාශයන් වෙනුවෙන් පෙනී සිට ඇති  BBC  වැනි මාධ්‍ය ආයතනයක් විසින් නොගත යුතු පියවරක් බව ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනි මහත්මියගේ හා එහි ලේකම් ලසන්ත ද සිල්වා මහතාගේ අත්සනින් යුතුවය.

එම මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ  පැය භාගයක ගුවන් කාලයක් යටතේ පැවැති සංදේශය ගුවන් විදුලි වැඩ සටහන මීට වසර කිහිපයකට පෙර විනාඩි පහක වැඩ සටහනකට සීමා කරන්නට BBC ආයතනය කටයුතු කර තිබුණු බවය.

විනාඩි පහකට සීමා කළ වැඩ සටහන සතියේ දින පහක්, රාත්‍රී 10.00ට  විකාශනය වූයේ සිරස FM ගුවන් විදුලිය ඔස්සේ බවද පවසන එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ආරංචි මාර්ගවලට අනුව BBC සිංහල සේවය ඔන්ලයින් මාධ්‍යයක් ලෙස පවත්වා ගෙන යෑමට BBC ආයතනය සැලසුම් කර ඇත. 2017 සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව සියයට 40. 1 කි.

ග්‍රාමීය සහ වතුකර ප්‍රදේශවල එය ඉතාම අඩු අගයක් ගනී.  ඔන්ලයින් මාධ්‍යය ජනප්‍රිය වී ඇත්තේ නාගරික කොටස් අතරය. ග්‍රාමීය ප්‍රජාවන් අතර සහ වැඩ කරන ජනතාව අතර වඩාත් ජනප්‍රිය මාධ්‍ය වන්නේ රූපවාහිනිය සහ ගුවන් විදුලියයි.

එවැනි තත්ත්වයක් යටතේ තොරතුරු දැනගැනීමට මෙන්ම, අදහස් ප්‍රකාශ කිරීමට තිබූ එක් කුඩා මාධ්‍ය ආයතනයක් හෝ වැසී යෑම බරපතල ගැටලුවකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව ගැටලු රැසක් මතු වී ඇති  හා මානව හිමිකම් ගැටළු උග්‍ර වෙමින් පවතින අවස්ථාවක විනාඩි පහක මාධ්‍ය අවස්ථාවක් වුව ජනතාවට අහිමි වීම සුදුසු වන්නේද නැත.

වඩා ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් දැක්මකින් යුතුව සංදේශය ගුවන් විදුලි වැඩ සටහන පවත්වාගෙන යෑමට BBC ආයතනයේ අවධානය යොමු වනු ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අපේක්ෂා කරයි.

BBC Sandeshaya BBC Sinhala free media movement fmm

Social Sharing
නවතම