මහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02 දිනය.

ඒ මහර බන්ධනගාරයේ කැරැල්ල ඇති වී තෙදිනකට පසුවය. ඒ වන විටත් මහර ගැටුමෙන් රැඳවියන් 11 කු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර 107 කු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගෙන පැය කිහිපයක් තුල මහර බන්ධනාගරය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී පසුගිය දින කිහිපයේ යම් කළහකාරී තත්ත්වයක් පැවතුණු බන්ධනාගාරය හොඳින් නිරීක්ෂණය කළ අතර විනාශ වූ ගොඩනැගිලි හා දේපළ හැකි ඉක්මනින්, නැවත එවැනි ගැටුමක් ඇති නොවන ලෙස යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට උපදෙස් ලබා දුන් ඔහු  බන්ධනාගාරයට හා දේපළවලට සිදු වූ හානියත්, බන්ධනාගාර තුළ ඇති තත්ත්වය ජනතාව දැන ගත යුතු නිසා සිද්ධියට අදාළ රූපරාමු  හා ඡායාරූප මාධ්‍ය වෙත මුදා හරින ලෙසත් බලධාරීන්ට උපදෙස් ලබා දි තිබුණි.

වෙඩි වැදි කිසිවෙකු මිය ගියේ නැහැ

එමෙන්ම ඔහු ඊයේ (03) දින පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදි. ඒ මහර ගැටුමෙන් කිසිදු රැඳවියෙකු වෙඩි වැදී මරණයට පත්ව නැති බවත්, මිය ගොස් ඇත්තේ එකිනෙකා විසින් ගහගත් නිසා බවය. එම ප්‍රකාශය ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙසේය.

ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් මහර සිදුවීම ගැන කියූ කතාවකට නව බන්ධනාගාර කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දුන්නේ ය.

එහිදී මහර බන්ධනාගාරයේ සිදුවීම ගැන පවසමින් අමාත්‍යවරයා කියා සිටියේ “ගරු මන්ත්‍රීතුමා, ඊයේ මම මහර බන්ධනාගාරයට ගියා. ඒක ඇතුළේ වෙලා තියෙන සිද්ධිය ගැන දැනට CID එකෙන් පරික්ෂණයක් කරගෙන යනවා. මේකේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලු දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන.. වෙඩි පහරවල් තියලා තියෙනවා, ඒත් වෙඩි පහරකින් මැරිලා නැහැ කවුරුවත්…මරණ පරික්ෂණවලින් ඒවා හෙළිවෙලා තියෙනවා…” ලෙසින් පිළිතුරු ලබා දුන් බවටය.

එහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා කියා සිටියේ ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාට සුබ පතන බවයි. ඔහුගේ නව පත්වීම වැඩි වැඩියෙන් බන්ධනාගාර හදලා, සිරකරුවන් ගන්න ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බවය. එවිට නැවත වරක් නැගී සිටි ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා සිටියේ “අපට දුන්නා වගේ නෙමෙයි, ඉදිරියේ දී ඔබතුමාලා බන්ධනාගාරයට ආවොත් අපි හොඳට බලාගන්නවා” ලෙස බව ඒම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

වෙඩි තියන්න ඕඩර් එක දුන්නා

රාජ්‍ය අමාත්‍යවරයා  එසේ කියුවත් මහර බන්ධනාගාරය භාර අධිකාරි ජගත් වීරසිංහ මහතා කියා ඇත්තේ වෙඩි තැබිමෙන් මිය ගියේ එක්කෙනෙක් නැත්නම් දෙදෙනකු බවය. අනිත් අය මිය ගියේ ඔවුන් විසින් ගහගෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම තවත් සුවිශේෂි ප්‍රකාශයක් ඔහු සඳහන් කර තිබුණි. ඒ ….” දෙදාහක් විතර එක සැරේට කඩාගෙන ගේට්ටු කඩාගෙන යන්න එළියට හදන කොට වෙඩි තියන්න ඕඩර් එක දුන්නෙ මම … , අපි වීඩියෝ එළියට දැම්මම තමුන්නාන්සේලාට බලාගන්න පුළුවන් ඒකෙ වගකීම මම ගන්නවා යනුවෙනි. ( https://www.facebook.com/parakrama.basnayake )

පොලිසියේ නිල නිවේදනය

මෙම මහර ගැටුම ආරම්භ වු ඉකුත් නොවැම්බර් 29 දා සවස් වරුවේම පොලිස් මුලස්ථානය විසින් තහවුරු කර සිටියේ වෙඩි තැබීමෙන් සිරකරුවෙකු මිය ගිය බවය.

මෘත ශරීර හඳුනා ගැනීම

මිය ගිය රැඳවියන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාව තහවුරු කිරීමට බන්ධනාගාර දෛපාර්තමේන්තුව පියවර ගෙන නැත. ඒ පිලිබඳ මාධ්‍ය විමසූ විට පොලිසිය ප්‍රකාශ කරන්නේ ලේඛනාගාරය ගිනිගත් නිසා මොවුන්ගේ සිර අංක සොයා ගත නොහැකි බවටය. මෙහිදී හාස්‍යය ජනක කරුණ වන්නේ මිය ගිය හඳුනා ගැනීමට ලේඛනාගාරය ගිනිබත් විම හරස් වුවත් මේ කැරැල්ල මෙහෙය වූ පුද්ගලයින් හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටීමය.

රාගම රෝහල් අධ්‍යක්ෂකවරයාද මෙහිදී කියා  සිටියේ මෘත ශරීර හඳුනාගන්නා තුරු මරණ පරීක්ෂණ සිදු නොකරන බවය.

නමුත් ඊයේ (03) දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මාධ්‍ය හමුවකදී කියා තිබුණේ මිය ගිය අය හඳුනාගෙන ඇති බවය. එමෙන්ම ඔවුන්ගේ නිවෙස් වලට දැනුම් දී ඇතැයිද ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.

එහෙත් සත්‍ය වශයෙන්ම මේ මිය ගියේ කවුරුද යන්න මෙතෙක් රැඳවියන්ගේ නිවෙස් වලට දැනුම් දී නැත. මෙම ගැටුමේදී වෙඩි වැදී මිය ගිය බව පැවසෙන ජා ඇල පදිංචි සම්පත් නැමැති සැකකරුවෙකුගේ නිවසේ ඥාතින් නම් පවසන්නේ තම ඥාතියා මිය ගොස් ඇති බවට තමන්ට මේ වන විට තහවුරු වී ඇති බවය. ඒ් නිසා ඔහු වෙනුවෙන් ඊයේ (03) දින ජා ඇල නගරයේදී මරණ දැන්වීමක් පවා ප්‍රදර්ශනය කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණි. නමුත් ඔවුන්ටද මේ වන තුරු කිසිවෙකු නිල වශයෙන් මරණය දැනුම් දි තිබුණේ නැත.

ගැටුමේ විඩියෝව එළියට

මේ වන විට මහර ගැටුමේදී රැඳවියන් එකිනෙකා ගහ ගන්නා ආකාරය දැක්වෙන විඩියෝවක් එළියට පැමිණ ඇත. එහි දැක්වෙන ආකාරයට රැඳවියන් ගහ මරාගනිද්දී එය පාලනය කිරීමට යනු විනා විඩියෝ කරමින් සතුටින් උදම් දෙන්නීය. නියමයි, මරු කියා ඔවුන් ප්‍රීති වන අතර එය හරියටම විඩියෝ කිරීමටද වගබලා ගෙන ඇත. එසේනම් ඔවුන් මොවුන්ට කලහකාරී ලෙස හැසිරෙන්නට ඉඩ දී බලා සිටියා නොවේද?

අමාත්‍ය ලොහාන් රත්වත්තේ මරණ පරීක්ෂකවරයෙක් නොවේ

නමුත් අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසන්නේ වෙඩි වැදී කිසිදු රැඳවියෙකු මිය ගොස් නැති බවය. ඔහු එසේ පවසන්නේ කෙසේද යන්න ගැටලුවකි. මන්ද ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හෝ මරණ පරික්ෂකවරයෙකු නොවන නිසාය. මොවුන්ගේ මරණය සිදු වී ඇති ආකාරය සොයා ගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුවය.

එතෙක් කිසිවෙකුටත් මොවුන්ට වෙඩි වැදී මිය ගියේ නැතැයි පැවසීමට හැකියාවක් නැත.

-ශානිකා-

Social Sharing
නවතම