මානසික රෝගීන්ගේ ඖෂධ වලින් කලහකාරී හැසිරීමක් ඇතිවෙන්නේ නැහැ! – මනෝ වෛද්‍යවරු හෙලිකරයි.

මහර බන්ධනාගාරය තුල ඇති වූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැදවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරණය කර තීබිණි. එය පළමුවෙන් ප්‍රකාශ කලේ අමාත්‍ය විමල් විරවංශ මහතාය. ඒ 30 දා පැවති පාර්ලිමේන්තුවේදීය. පසුව එදිනම සවස මේ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද කියා තිබුණි.

පසුව මෙය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම, බන්ධනාගාර නිලධාරීන්ද පවසන්නට විය. මේ රැඳවියන් බන්ධනාගාරයේ තිබු මානසික ආතතිය සඳහා ලබා දෙන පෙති 21,000 ක් ලබා ගෙන ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම මෙයට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධ බවටද සැක පල කරන බව ප්‍රකාශ කර තිබුණි.

නමුත් ඔවුන්ගේ සියලු ප්‍රකාශ දැන් පුස්සක් බවට පත් කරමින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

එනම් මානසික රෝග සඳහා භාවිතා කරන කිසිදු ඖෂධයකින් කළහකාරී හැසිරීමක් ඇති නොවන බවටය. ආණ්ඩුවේ  මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරදි ආකල්පයක් මානසික රෝග හා ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙලෙස කරුණු  පැහැදිළි කර නිවේදයක් නිකුත් කර ඇත.

මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්විය හැකි යැයි අද සමාජයේ තිබෙන මතයද මෙම පුවතට බලපාන්නට ඇති නමුත් බොහෝ විට සිදුවන්නේ මානසික රෝගීන් නිසා අන් අයට කරදර සිදුවනවාට වඩා අන් අයගෙන් රෝගීන් අපහසුතාවයට පත් වීම බව ඔවුන් පෙන්වා දෙයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිතා වන අතර ඒවා අන්තර්ජාතික හා ජාතික වශයෙන් පිළිගත් නියාමනයන්ට යටත් වන බවත්, මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිලිගැනීම්වලට අනුව නිර්දේෂ කිරීම තුළින් අති මහත් රෝගීන් සංඛ්‍යාවකගේ මානසික රෝග සමනය වූවා පමනක් නොව, ඔවුන්ගේ ජීවන තත්වය නඟාසිටුවීමට හේතු වූ බව එම සංගමය පවසයි.  මෙම ඖෂධ කිසි විටෙක ප්‍රචණ්ඩත්වය ඇති නොකරන අතර කලහකාරී බව අඩු කිරීමට උපයෝගී කර ගන්නා බවද පෙන්වා දී ඇත.

නිසි ප්‍රතිකාර මඟින් මානසික රෝග බොහෝ දුරට සුව කල හැකි අතර නැවත නැවත රෝග තත්වය ඇතිවීම වැළැක්වීමටද හේතුවන අතර  ඒ සඳහා භාවිතා කරන ඖෂධ මඟින් කිසිම කලහාකාරී හැසිරීමක් ඇති නොවන බවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය යළි  යළිත් අවධාරණය කර සිටිමු. මෙවැනි ප්‍රවෘත්ති වලින් නොමඟ නොයා මානසික ගැටළු ඇති විට වහාම ප්‍රතිකාර වලට යොමුවන ලෙසත් ඔවුන් එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම