වියත් මගෙන් හැදූ ආණ්ඩුව මරු!

”ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා මහමැතිවරණය තියනකම් මොනවද කිවුවේ. මේක තමයි වියත් මඟ හදන ආණ්ඩුව කියල කිවුවා.

ඔවුන් ඉස්සර කොහොමද කිවුවේ? මෙච්චර කාලයක් ඇමතිකම් දුන්නේ කිසිදු පදනමකින් නොවෙයි කිව්වා. විද්‍යාත්මක භාවයක් නෑ කිවුවා. පවුලේ අයට පත්වීම දෙනවා කිවුවා. නමුත් ගෝඨාභය සර් ආවාම එහෙම වෙන්නේ නෑ කිවුවා.

දැන් කොහොමද වියත් මගෙන් හදාපු ආණ්ඩුව. අවුරුද්දක් යන කොට කුණු වෙලා ගඳ ගහන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා 2021 අයවැය යෝජනා සම්බන්ධයෙන් 02 දින අම්බලන්තොට පැවති මහජන හමුවකදී පැවසීය.

“අයවැය ලේඛණය ඉදිරිපත් කරල මේ වන විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේ විවාදයක් යනවා. සාමාන්‍යයෙන් අයවැයෙන් මුදල් වෙන් කරන්නේ අමාත්‍යාංශ වලට. ඇමතිවරයාට තමයි මුදල් වෙන් කරන්නේ.

මේ වෙන කොට ඒ ඒ විෂයන් තමයි පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදි සාකච්ඡා කරන්නේ. අයවැය ඉදිරිපත් කළේ පහු ගිය 17 වැනිදා. අය වැය විවාද කරල තුන්වැනි වර ඡන්ද වීමසීමට කලින්  දැන් අමාත්‍යාංශ හදනවා.

අළුතෙන් ඇමතිවරු දිවුරුම් දෙනවා. රෑ වෙලා එළි වෙන කොට ඇමතිවරයෙක් දිවුරුම් දීලා. උඩතලවින්නේ සමූහ මිනීමැරුම් වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ ලෝහාන් රත්වත්තේට බන්ධනාගාර ඇමතිකරම දුන්නා.

ඇමතිකම නියමෙට තෝරල තියෙනවා. ඔන්න වියත්මගේ කට්ටිය හදාපු ආණ්ඩුවේ හැසිරීම. මහර බන්ධනාගාරයේ රැදවියෝ පී.සී.ආර්. කරන්න කියල උද්ඝෝෂණය කරනවා.

මිනීමැරුම් චෝදනා වලට ලක් වූ ලොහාන් රත්වත්තේට බන්ධනාගාරය බාර දෙනවා. හරියට මහර රැඳවියෝ උද්ඝෝෂොණය කරල තියෙන්නේ ලොහාන් රත්වත්තේට ඇමතිකම ඉල්ලල දෙන්න වගේ කියලයි අපිට නම් හිතෙන්නේ.

මේ ආණ්ඩුවට ඡන්දය දීපු මිනිස්සුන්ට  කට උත්තර නැතිව ඉන්නවා. කර කියා ගන්න දෙයක් නැතිව ඡන්දය දුන්නේ නෑ වගේ ඉන්නවා.

තමන්ගෙ පස්ස පැත්තට ගහගන්න බැරිව ඉන්න අයත් දැන් ඉන්නවා. නමුත්  ජනතාවට ඒ වැරෙද්දෙන් මඟ හරින්න බෑ. ඒ බලය නිර්මාණය කරල දුන්නේ ජනතාව.

ලෝක ප්‍රසිද්ධ ණය වර්ගී කරන ආයතනයක් වෙන ෆිට්ච් ආයතනය විසින් මේ රටේ විදේශ ණය කළමණාකරණය පිළිබදව අපට හිමි ස්ථානය ප්‍රසිද්ධ කොට තිබෙනවා. ණය ගෙවීමේ හැකියාව අතින් අපි ඉන්නේ ඉතාමත් අසුුතුට දායක තැනක. අපේ භාණ්ඩාගාරය හිස්.

විදේශ වත්කම් මොනවත් නෑ.අයවැය ලේඛණයෙන් අගමැතිවරයා මොනවා කිවුවත් රටේ ආර්ථික වර්ධන වේගය වර්ධනය කර ගන්න ආණ්ඩුවට වැඩ පිළවෙලක් නෑ. හොදින් මතක තියා ගන්න තව මාස හයක් යන කොට මේ රටේ මිනිසුන්ට කන්න නැතිව මැරෙන තත්වයට මේ රට පත්වෙනවා.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම