කොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන්  සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම නොවැම්බර් 30 සදුදා  සහ දෙසැම්බර් 1 අගහරුවාදා  සිදු කර තිබුනි.

එම්.ඒ සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරසය  ව්‍යාප්ත වීමක් සිදුවන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බවයි.

පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය  විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

Social Sharing
නවතම