මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට

අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

දෙසැම්බර් පළමු වැනිදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

එහිදී ඔහු මාධ්‍ය වෙත වැඩි දුරටත් සදහන් කලේ  මහර බන්ධනාගාරයේ රැදවියන් කිසිදු ආහාරයක් නොමැතිව මේ වන විට නිරාහාරව සිටින අතර අඩු තරමේ ඔවුන්ට බීමට  වතුරවත් නොමැති  තත්වයක් උද්ගතව පවතින බවයි.

” මොකද එතන ඉන්නේ බොහෝ දුරට කොරෝනා රෝගය වැලදිලා ඇතියි කියලා සැක සහිත රැඳවියෝ තමයි ඉන්නේ. ඊට අමතරව හෘදයාබාධ තියන රැඳවියෝ ඉන්නවා. තවත් දියවැඩියා රෝගය තියන රැඳවියෝ ඉන්නවා.  නමුත් එක බෙහෙත් පෙත්තක්වත් මේ වෙනකං ඔවුන්ට ලබා දීලා නෑ,” යි සුදේශ් නන්දිමාල් වැඩි දුරටත් චෝදනා කළේය.

ඒ වගේම අපිට සැකයක් තියනවා ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර කිව්වා වගේ, මේකත් මේ රැඳවියන්ව එක්තරා ආයතනයකට වහල් භාවයට ගෙනියනවා. වහල් සේවයකට ගෙනිච්චා. ඒ ගෙනියලා ඔවුන් නැවතත් බන්ධනාගාරය තුළට ආවේ කොරෝනත් එක්කද කියන සැකය අපිටත් ඇති වෙලා තියනවා.  ”

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතී නීතිඥ සේනක පෙරේරා සමග ජනතා නීතිඥයෝ  සංවිධානයේ කැදවුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් වන නීතිඥ නාමල් රාජපක්ෂ සහ අචලා සෙනවිරත්න ද එක්ව සිටියහ.

සමාන්තර පරීක්ෂණ 04ක්

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල අද  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් පවසා තිබුනේ  මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධව විමර්ශනය කිරීමට ආණ්ඩුව විසින් සමාන්තර පරීක්ෂණ හතරක්  මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනූව මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  විසින් බන්ධනාගාර කොමසාරිස් වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර දෙපාර්තමේන්තු මට්ටමේ විමර්ශනයක් මේ වන විට සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒමෙන්ම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් රාජ්‍ය අමාත්‍යාංශ  ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යංශ මට්ටමෙන් විමර්ශනය කිරීම සදහා දෙවැනි කමිටුව පත්කර තිබේ.

තෙවැනි කමිටුව වශයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල පෙන්වා දෙන්නේ අධිකරණ  අමාත්‍යවරයා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිණී වීරවර්ධන ගේ සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් මේ සම්බන්ධයෙන් විමර්ශනයට පත්කර ඇති බවයි.

ඉහත විමර්ශන ත්‍රිත්වයම අදාල විෂයභාර ආයතන විසින් සිදුකරන අතරම ඊට පරිබාහිරව ස්වාධීන පරීක්ෂණයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිවුවෙනි පරීක්ෂණය සිදුකරයි.

මෙම සියලු විමර්ශන වල විෂය පථය වන්නේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට හේතු මොනවාද යන්න සහ ඒවැනි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන කාරණා පිළිබදව අධ්‍යයනයක් කිරීම බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

Social Sharing
නවතම