ඇදිරි නීතිය නීත්‍යානකූලව පනවන්න – මානව හිමිකම් කොමිසම රජයට කියයි.

ඇඳිරි නීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත්  නිරෝධායන පනත යටතේ මුලු රටටම ඇඳිරි නීතිය පැනවිය ‌නොහැකි බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර සිටියි.‍

කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමින් 2020 මාර්තු සිට පනවා ඇති ඇඳිරි නීතිය පිලිබඳව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් හා වැඩ බලන පොලිස්පතිවරයා වෙත දන්වා යවමින් මේ බව සඳහන් කර ඇත.

වර්තමානයේ රට මුහුණ දී සිටින අසාමාන්‍ය සෞඛ්‍ය හදිසි අවස්ථාවකදී මහජන සෞඛ්‍ය හා මහජන සාමය උදෙසා ගමන් කිරීමේ නිදහස සීමා කිරීමේ අවශ්‍යතාව කොමිසම සම්පූර්ණයෙන් පිළිගන්නා  නමුත්  ඒවැනි සීමාවන් මානව හිමිකම් කඩ නොවන අයුරින්, නීතියේ ආධිපත්‍ය උල්ලංඝනය නොවන අයුරින් සිදු කළ යුතු බව සඳහන් කර තිබේ..

මෙම සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳිම් යන දෙකටම නීත්‍යානුකූල වන්නේ නීතියට අනුව පනවා තිබේ නම් පමණක්ද මෙම නිර්දේශ වලින් පෙන්වා දී ඇත.

ඇඳිරි නීතිය ක්‍රම දෙකක් ඔස්සේ පැනවිය හැකි බවත් ඒනම් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ඇඳිරි නීතිය පැනවනු ලැබීම සහ නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත අනුව ඇමතිවරයා විසින් පනවනු ලබන රෙගුලාසි යටතේය.

පළමු කරුණ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ හැකි වඩාත්ම බලයලත් ක්‍රමය වේ.

දෙවැනි කරුණ යටතේ අමාත්‍යවරයා නම් කරන ලද නිසි බලධාරියා මඟින් සංචරණය සීමා කළ හැක්කේ රෝගී ප්‍රදේශ වල පමණක් බවට කොමිසම නිරික්ෂය කර තිබේ. ඒසේ නොමැතිව රටපුරා ඇඳිරි නීතිය පැනවීමට ඒම බලධාරියාට අවසරයක් නොමැති බවද ඒම කොමිසම පෙන්වා දි ඇත.

ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කිරිමේදි සහ අනෙකුත් සියලුම ආකාරයේ සංචරණයන් සීමා කිරිමේදී විනිවිදභාවයක් තිබීම අත්‍යවශ්‍ය බවත් ඒ්වා ප්‍රකාශයට පත් කිරීම විධිමත්ව සිදු විය යුතුව ඇතැයිද කොමිසම කියා සිටියි.

දැන් ඇඳිරි නීතිය පනවනු ලබන්නේ හා ඉවත් කරනු ලබන්නේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් බවද පොලිසිය නිරෝධායන හා රෝග වෑක්වීමේ ආඥා පනත යටතේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන බව වැටහි ඇති බවද  කියා සිටියි.

2020 මැයි 27 දිනැති ලිපියක් මගින් මානව හිමිකම් කවුන්සිලය විසින් 1865 අංක 16 දරන පොලිස් ආඥා පනත (සංශෝධිත පරිදි) “සාමය ආරක්ෂා කිරීම” ඇතුළු රාජකාරිය ඇතුළුව තනි පොලිස් නිලධාරීන්ගේ යුතුකම් දක්වා ඇති නමුත් පොලිස් ඇඳිරි නීතිය පදනම් කරගෙන පොලිසිය විසින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා  නඟමින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ වාහන රාජසන්තක කර ඇති බව නිරීක්ෂණය වන බවද කොමිසම පවසයි.

COVID-19 වසංගතය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කිරීම හෝ මහජන සෞඛ්‍යයට අහිතකර වන පරිදි ක්‍රියා කිරීම සඳහා මෙම නිර්දේශයන්හි කිසිවක් භාවිතා  නොකළ යුතු බව කොමිසම වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Social Sharing
නවතම