35 වැනි පොලිස්පති ස්වාධීනද?

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත්  (27) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කළේය.

කවුද මේ සි.ඩි. වික්‍රමරත්න

හෙතෙම 1986 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී ඇති අතර ලංකාවේ විවිධ පළාත්වල සේවය කර තිබේ. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ බී.එස්.සී උපාධිය සහ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ එම්.එස්.සී උපාධිධාරියෙකි.

ඔහු පොලිස් සේවය වෙත බැඳී ඇත්තේ ප්‍රථමයෙන්ම පොලිස් නිලධාරියකු මෙන්ම විශේෂයෙන්ම බුද්ධි නිලධාරියකු ලෙසය. මොහු වරින් වර වැඩ බලන පොලිස්පති තනතුරේ 13 වතාවක් රාජකාරි කළ අයෙකි.

ශ්‍රී ලංකා පොලීසිය ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1866 සැප්තැම්බර් මස 03 වැනි දින පිහිටු වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පතිවරයා ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පත් කරනු ලැබුවේ ජී.ඩබ්ලිව්.ආර් කැම්බල් මහතාය.

දීර්ඝ කාලයක් වැඩ බැලු පොලිස්පතිවරයා ලෙස ඉතිහාස ගත වීම

එදා මෙදා තුර පොලිස්පතිවරුන් 34 දෙනෙකුට පසුව 35 වෙනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා පත් විය. 34 වැනි පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව 2019 වසරේ මැයි මාසයේ සිට  පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා ලෙස මොහුව  නිර්දේශ කරන තුරුම වැඩ බලන පොලිස්පතිවරයා විය.

සී.ඩී වික්‍රමරත්න මහතා පොලීසියට නායකත්වය දෙන්නේ පොලිස් ඉතිහාසයේ දීර්ඝ කාලයක් වැඩ බැලූ පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට ද එක්වෙමිනි. පසුගිය මාර්තු 15 වෙනිදා පූජිත් ජයසුන්දර මහතා සිය වයස අවුරුදු 60 පිරීමෙන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැන්නුනද 35 වෙනි පොලිස්පතිවරයා ලෙස මේ මහතාව පහුගියදා වනතෙක් පත් කෙරුණේ නැත. නිසි බලය ඔහුට ලැබුණේ පහුගිය 27 දා සිටය.

පොලිස්පති ස්වාධීන වීම හා පොලිස් කොමිසම

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පත් කෙරුණු ප්‍රථම පොලිස්පතිවරයා සි.ඩි. වික්‍රමරත්න මහතාය.

මේ නිසා ඔහුට පොලිස්පතිධුරයේ ස්වාධිනව කටයුතු කිරිමට මේ වන විට අවස්ථාව හිමිව ඇත. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුලු ඊට පහළ නිලයන්හි පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම හා විනය පාලනය සහ සේවයෙන් පහ කිරීමේ බලතල මෙතෙක් කලක්  ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත 2017 අප්‍රේල් 24 අංක 2016/16 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත පරිදි 2016.05.06 දිනැති අංක 1965 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් පවරා තිබුණි.

එසේ වුවත් මෙකී නිලයන් සම්බන්ධ පූර්වෝක්ත කාර්යයන්ට අදාළ සමස්ත ප්‍රතිපත්තිය තීරණය කෙරුණේ  කොමිෂන් සභාව විසිනි. තවද අභිනියෝජිත බලය පොලිස්පතිවරයා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් භාවිතා කරන ආකාරයද කොමිෂන් සභාවේ අභියාචනා කාර්යය පටිපාටිය ඇතුලු අධීක්ෂණයට භාජනය වු අතර ඉතිරි සියලු බලතල කොමිෂන් සභාව විසින් සෘජුවම ක්‍රියාත්මක විය.

මෙහිදී ශ්‍රී ලංකා පොලිස් සේවාවේ ප්‍රධානියා වන පොලිස්පති වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි කොමිෂන් සභාවේ රැස්වීම් වලට සහභාගි විය යුතු අතර ඔහුගේ කාර්යය අවශ්‍ය තොරතුරු නිරීක්ෂණ සහ නිර්දේශ ලබා දීම තුලින් කොමිෂන් සභාවට සහාය වීමය.

නමුත් 20 වෙනි සංශෝධනයෙන් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුලු ඊට පහළ නිලයන්හි පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම හා විනය පාලනය සහ සේවයෙන් පහ කිරීමේ බලතල ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ගැලවී එය වත්මන් පොලිස්පතිවරයා වෙත පැවරි ඇත.

පොලිස් නිලධාරින් උසස් කිරිමේදී, ස්ථාන මාරු කිරිමේදී පහුගිය කාලයේ ජාතික පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා අතර කිහිප අවස්ථාවකම ගැටුම් ඇති විය. කොමිසම විසින් සුදුසුකම් නොලත් හෝ පෙර වැරදි වලට ලක් වූ නිලධාරියෙකුට උසස් වීමක් දුන්නහොත් ඔහු කරනා වැරදි වලට වග කිව යුතු වුයේ පොලිස්පතිවරයාටය. නමුත් මෙම නව සංශෝධනයත් සමඟ මෙම කර්ත්‍යවයන් දෙකෙහිම වගකිම පොලිස්පතිවරයාට පැවරී තිබිම නිසා ඔහුට සුදුසු, නුසුදුසු පුද්ගලයින් තෝරා බේරා ගැනිම පහසුය.

පෙර අවස්ථාවේ නිලධාරියෙකු මාරු කිරීමට වුවත් පොලිස්පති වරයාට කොමිසමේ අනුමැතිය ගැනිමට සිදුව තිබුණි. විශේෂයෙන්ම ජාතික පොලිස් කොමිසමේදි පොලිසිය ගැන කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයින් ඊට පත් කිරිම තුලින් පහුගිය කාලයේ ගැටලු රාශියක් මතු විය. අවසානයේ පොලිස් කොමිසම වැඩක් නැති කොමිසමක් බවට පත් වු බව පොලිස් නිලධාරින්ම පවසති.

-ශානිකා-

Social Sharing
නවතම