නීතිඥ හෙජාස් හිස්බුල්ලා දිගින් දිගටම රඳවා තබා ගැනීම පලි ගැනීමක්ද? – LAWASIA  

නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ දිගින් දිගටම රඳවා තබා ගැනීම, ඔහු විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතර ප්‍රජාවේ ව්‍යවස්ථාමය අයිතීන් වෙනුවෙන් කරන ලද නීති ක්ෂේත්‍රයේ කරන ලද මැදිහත්වීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට එරෙහිව රජය විසින් කරන ලද පලිගැනීමක් විය හැකි බවට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංවිධානයක් පෙන්වා දෙයි.

හිටපු සේවාදායකයෙකු වෙනුවෙන් පුද්ගලයකු සමඟ ඔහු කළ සංවාදයක් සහ  ඔහු සම්බන්ධව සිටි පුණ්‍යායතනයක් පිළිබඳව වන නොපැහැදිලි චෝදනා මත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2020 අප්‍රේල් 14 දින අත්අඩංගුවට ගන්නා ලද නීතිඥ හිස්බුල්ලා රඳවා තබා ගැනීම හෙලාදකිමින් ආසියා ශාන්තිකර නීතිවේදී අයිතිය වෙනුවෙන් පෙනී සිටින “ලෝ ඒෂියා” (Lawasia) නිවේදනයක් නිකුත් කර තිබේ .

මාස අටකට  අධික කාලයක් ඔහුගේ රඳවා තබා ගෙන සිටි මුස්ලිම් නීතිඥයාගේ නඩුව නැවත වතාවක්  2021 පෙබරවාරි 27 දක්වා කල් තබා තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රධාන නියමිත විධිවිධාන ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වාදෙන එම සංවිධානය පවසන්නේ, මෙහිදී නීතිඥ හෙජාස් ගේ නඩු ලිපිගොනු කිහිපයක්ද රැගෙන ගොස් ඇති බවට තමන්ට දැනගන්නට ලැබී ඇති අතර, “එය ඇත්තක් නම්, එය නීතිඥ-සේවාදායක වරප්‍රසාද දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්” බවයි.

එසේම හෙජාස් හට නීතිඥයකු හෝ පවුල සමඟ සම්බන්ධ වීමේ හිමිකම මෙම රඳවාගැනීම තුළින් අවහිර කර ඇති බව පෙන්වාදෙන ඔවුන්, එසේ රඳවාගෙන සිටීම සඳහා විශ්වාසදායක සාක්ෂි අධිකරණයට ඉදිරිපත් නොකර, ඔහු කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු මූලස්ථානයේ දිගින් දිගටම රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරයි.

ඔහු රඳවා තබා ගැනීමේදී නීත්‍යානුකූලභාවය පිළිබඳ මූලධර්මය ඉක්මවා ත්‍රස්තවාදය වැළැක්වීමේ දරුණු පනත යොදාගැනීම “ලෝ ඒෂියා” සංවිධානයේ බලවත් අවධානයට යොමුවී තිබේ.

අත්අඩංගුවේ පසුවන නීතිඥ හෙජාස් නිදහස් කරන ලෙසත්, නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට එරෙහිව ඔහුට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා රජය සතු වගකීම සපුරාලන බවට සහතික වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ආසියා ශාන්තිකර නීති සංවිධානය “ශ්‍රී ලංකා රජය විසින්, නීතිය මඟින් පාලනයට නොව, නීතියේ ආධිපත්‍යයට ගරු කරන බවට සහතික විය යුතු බව” අවධාරණය කරයි.

ආසියා ශාන්තිකර කලාපය තුළ නීතිවේදී අයිතිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, විනිසුරුවන්, නීතිවේදීන් සහ නීති සංවිධාන වල කලාපීය එකමුතුවක් වන “ලෝ ඒසියා”, ආසියා ශාන්තිකර කලාපය තුළ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම,  මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර ආයතනයකි.

එම නිවේදනය

LAWASIA statement of concern on the arrest and prolonged detention of Hejaaz Hizbullah.

Social Sharing
නවතම