අපගේ නිහඬ බව ගැන සමාවෙන්න ශානි මහත්තයා,

මේ ලිපිය ඔබට ලියන්නේ 2020 නොවැම්බර් මස 28 වෙනි දින. මේ ලිපිය පළවන අවස්ථාව වන විට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මොනව විදියේ ආරංචියක් අපිට ලැබෙයි ද දන්නේ නෑ. ඒ කොහොම වුනත් මේ සියල්ල දරාගෙන ඉන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ රටේ සිටින මේ අයුක්තියට ශාප කරන සියළු මහජනතාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා.

ඔබගේ පපුව ගැහෙන තරම අපි දැනෙනවා. ඔබ නිහඩව දරාගෙන සිටින ප්‍රමාණය අපි දන්නවා. ඒත් මේ වෙලාවේ අපි කරන්න පුළුවන් දේ සීමිතයි. ඒත් සීමිත පිරිසක් වුනත් ඔබගේ ජීවිතය වෙනුවෙන් සටනක් දෙනවා.

ඔබ මාව දන්නේ නෑ. මම ඔබව දන්නේ නඩු ගැන කියද්දි විතරයි. ඔබ දැන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන ඇත්තටම කණගාටුයි. වේදනයි. කේන්තියි. ඔබ මේ සමාජයේ යුක්තිය වෙනුවෙන් කරලා තියෙන දේවල් අනුව අපි කව්ද? ඔබ අරන් තියෙන අවධානම් ගැන හිතනකොට අපි කව්ද?

ගොඩක් අය ඔබව යහපාලනයට සම්බන්ධ කළත්, යහපාලනය කාලෙත් ඔබට පරීක්ෂණ කරන්න තිබුණු ගැටළු අපි දැක්කා. අහලා තියෙනවා. දේශපාලන ගේම් නිසා ඔබ කරගෙන යන පරීක්ෂණ හරියට කරන්න දුන්නු බව අපි දන්නවා.

ඇත්තටම යහපාලනය ඒක ගෙනාපු අයට වඩා ඒ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තේ ඔබ. ඒ කාලය තුළ උපරිම මහන්සියක් වුනා කියලා අපිට ලැබුණු තොරතුරු වලින් කිය වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට හොඳ තරගාවලියක් ලැබුණා වගේ ඔබ දක්ෂ ලෙස ක්‍රීඩා කළා.

යහපාලනය නාමයෙන් සමහර අය තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මහන්සි වෙද්දි, ඔබ කවදාවත් දැකලා නැති වින්දිතයන් වෙනුවෙන් දිවා රෑ නොබලා සේවය කළා. දවසක් නීතිඥ ජේ.සී වැලිඅමුණ කිව්වා විදියට ඔබ ඇතුළු කණ්ඩායම දිවා රෑ වැඩ කරද්දී සමහර දවස්වල කාර්යාලයේ මේසය මත නිදාගන්නවා කියලා කිව්වා.

අපි සමාජ ව්‍යාපාරයන්වල ඉන්න අවස්ථාවන් වල ඔබ අපි ගැනත් තොරතුරු හොයන්න ඇති. ඔබගේ අපගේ මතයන් එකිනෙකට සමාන වෙන අවස්ථාවන් අඩුයි. සමාජ ව්‍යාපාරයන් වල ඉන්න අය රහස් පොලිස් නිළධාරීන් එක්ක තියෙන්නේ කිසිදා අවසන් නොවන තරහක්. සටනක්. මම දන්න සිවිල් ව්‍යාපාරය නායකයන් තමන්ගේ විරෝධතා ව්‍යාපාරයන් වලදී එතැනට ඇවිත් ඉන්න සියළු රහස් පොලිස් නිලධාරීන් අභියෝග කරනවා.

යහපාලනය විසින් පාස්කු ප්‍රහාරය ගැන පැවැත්වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ව්‍යවස්ථා විරෝධී රජය කාලයේ ඔබත්, ඔබගේ පවුලේ අයත්, දරුවන් පාසැල් යාම ගැනත් මුහුණ දුන් ආකාරුණික තත්ත්වය ගැන සාක්ෂි දෙන අවස්ථාවේ දී කිව්වා. ඒ වීඩියෝව මා සතුව අදත් තිබෙනවා.

ඔබ වෘත්තිය වශයෙන් පෙන්වා ඇති දක්ෂතාවය, නීතියෙන් සීමා පනවා තිබෙද්දි රටේ ඉහළ තැන්වලට පත් වූ පරිපාලන නිලධාරීන්ට, අමාත්‍යවරුන්ගේ වංචාවන්ට අනියමින් සහය දක්වා නීතියෙන් බේරී සිටින නිලධාරීන්ට, මුළු ජීවිත කාලය පුරාම ආත්ම වංචා කරමින් රජයේ සම්පත් අනිසි ලෙස භාවිතා කරන, අයිතිකර ගන්නා වූ රජයේ නිලධාරීන්ට වඩා ඉහළයි.

ඔබට සමාන තත්ත්වයකට පත්වුනු රාජ්‍ය නිලධාරියෙක් ලෙස මම දන්නේ මගේ මිත්‍ර රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න පෙරේරා. ඔහු අපගේ ඉතා සමීප මිතුරෙක්. ඔහුව ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරියෙක් අවුරුදු ගණනාවක් තිස්සේ සිදුකළ රේගු වංචාවක් සොයා ගත්තා. ලංකාවේ ඒ වන විට රේගුවට ලැබිය යුතු විශාලම බදු වංචාව හොයාගෙන ඒ ගැන පරීක්ෂණ කරගෙන යද්දි ඔහුට එම ව්‍යාපාරිකයාගෙන් මරණීය තර්ජන ලැබුණ.

ඒත් ඒ ගැන නොසැලකූ ඔහු පරීක්ෂණ කරගෙන ගියා. එක්තරා අවස්ථාවකදී ඔහු විසින් සිදුකරන පරීක්ෂණය පිළිබඳ විශාල වාර්තාවක් ඔහු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායකට බාර දුන්නා. ඇය එය කියවා පරීක්ෂණ දිගටම කරගෙන යන්න සුජිත්ට අවසර දුන්නා. නමුත් මුළු රජයම දැන සිටි එම පරීක්ෂණ නිසාම සුජිත්ව ඝාතනය කළා. රජය නිහඩව හිටියා. ව්‍යාපාරිකයා රාජ්‍යය සම්බන්ධතා මැද සැගව ගියා. ඝාතනය සංවිධාන කළ අනුර වීරවංශ සිරගෙට නියම වුනා.

සුජිත්ගේ අත්දැකීම හා ඔබගේ අත්දැකීම සමාන වෙන්නේ තමන් සේවය කළ රජය විසින් තමන්ව අත්හැර දමන ලද නිසයි. තමන් සටන් කළ යුක්තිය අරගලයේ කොටස්කරුවන් තමන්ව අමතක කළ ඇති නිසයි. අත්දැකීම සමාන වුනත් ඔබගේ ඉරණම ඒ හා සමාන නොවන බව අපට විශ්වාසයි. ඔබ වෙනුවෙන් දමා තිබුණු අන්තර්ඡාල පෙත්සම විශාල පිරිසක් අත්සන් කිරීමම ඊට සාක්ෂි.

පුදුමය කියන්නේ අපේ මිත්‍ර සුජිත් ප්‍රසන්න පෙරේරා ගේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඝාතකයනට දඩුවම් දීලා තියෙන්න කටයුතු කරලා තියෙන්නේත් ඔබ. සුජිත් නැමති රජයේ නිලධාරියාට යුක්තිය ඉටු කළ ඔබට යුක්තිය ඉටු කරන්න මුළු අපට වගකීමක් තියෙනවා. ඒ වගේම ඔබ විසින් සිදු කරමින් ගිය වාර්තාගත පරීක්ෂණ සංඛ්‍යාව, ඉතාමත් වැදගත් පරීක්ෂණ සංඛ්‍යාවක් ඔබ විසින් කරමින් පවතිනවා.

ඒ බොහෝ සිදුවීම් වලට දේශපාලකයන් සම්බන්ධවී සිටීම නිසා ඔබට මේ ඉරණම අත්වෙන්න ඇති. ඒ පරීක්ෂණ ලැයිස්තුව දෙස බලන විට ලංකාවේ මේවන විට බිහිවූ දක්ෂතම පමණක් නොව කාර්යක්ෂම, අවංකම රහස් පොලිස් නිලධාරියා ඔබ බව සැකයක් නැත.

මා සතුව ඇති ලිපි වල සටහන් වී ඇති පරිදි ඔබ විසින් 2008 සිට 2016 දක්වා සිදු කර ඇති ප්‍රධාන පරීක්ෂණ ලංකා අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක පරීක්ෂණයන්ය.

2008 – 2009 වර්ෂවල දී කොටුව, වත්තල සහ කොටහේන පොලිස් වසම් තුළදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් මුදාහරින බව පවසමින් කප්පම් මුදල් ලබාගෙන ඔවුන් ඝාතනය කිරීම, 2009 ජනවාරි 08 වෙනි දින සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග උල් ආයුධයකින් පහර දී ඝාතනය කිරීම, 2009 ජනවාරි 23 වෙනි දින වැලිවේරිය පොලිස් වසමේ දී මාධ්‍යවේදී උපාලි තෙන්කෝන් ට පහර දීම, 2010 ජනවාරි 24 වෙනි දින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, 2012 අප්‍රේල් 18 වෙනි දින රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන් අය අයට පහර දී ඝාතනය කොට මෘත ශරීරය  කාර් රථයක් තුළට දමා පුළුස්සා දැමීම, 2012 නොවැම්බර් 09 වෙනිදිින වැලිකඩ බන්ධනාගාරය තුළදී පුද්ගලයන් 26 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, රතුපස්වල දී 2013 අගෝස්තු 01 වෙනි දින පුද්ගලයන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, වව්නතිව් පොලිස් වසමේ දී 2018 දෙසැම්බර් 26 වෙනි දින පොලිස් නිලධාරීන් සතුව තිබූ ගිනි අවි පැහැරගෙන යෑම, 2019 අප්‍රේල් 21 වෙනි දින කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු කරනු ලැබූ මරාගෙන මැරෙන ප්‍රහාරය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරි සිට 2016 මාර්තු 31 දක්වා සිදුකරන ලද බැඳුම්කර නිකුතුවේදී සිදුවී ඇති වංචා හා දූෂිත ක්‍රියා සම්බන්ධ විමර්ශනය.

මීට අමතරව මුස්ලිම් ව්‍යාපාරිකයෙක් කප්පම් සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරී වාස් ගුණවර්ධනට විරුද්ධ පරීක්ෂණය, අගුළාන තරුණයන් දෙදෙනා පොලිසිය තුළ දී ඝාතනය ලක්වීම, භාරත ලක්ෂ්මන් ඝාතනය, රට තුළ ජාතිවාදී කොලහාල ඇති කර ලද කණ්ඩායම් සොයා කළ මෙහෙයුම් ද වෙයි.

ඔබ විසින් වඩා විවාදාත්මක පරීක්ෂණයන් කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ රජය කාලයේදීයි. මේ වනවිට ඔබට චෝදනා ලබන පරීක්ෂණය ද බාර දී තිබෙන්නේ ද ඊට අමතරව මහින්ද රාජපක්ෂ රජය කාලයේ දීය. මේ නිසා ඔබ යහපාලනය මෙහෙයවූවා යන්න හීතලවකි.

ඔබට මෙවැනි සිදුවීම් ගැන පරීක්ෂණය කිරීමට සිදුවීමම ඔබගේ කාර්යශූරත්වය ක්‍රියා පායි. ඔබ වැනි කාර්යක්ෂම රජයේ සේවකයෙකුට මෙවැනි ඉරණමක් අත්වීම අපගේ රටේ රජයේ නිලධාරීන්ගේ ඉරමණ ද, රජයේ රහස් පොලිස් නිළධාරීන්ගේ ද ඉරණම කියාපායි.

අවසානයේ දී ඔබට මේ අත්වී තිබෙන ඉරණම ගැන සලකා බැලීමේ දී අවසානයේ පීඩාවට අනතුරට ලක්වන්නේ රටේ යුක්තියයි. ප්‍රජාතන්ත්‍රවාදයයි.

ඔබට අත්වූ මේ ඉරණමේ දී නිහඩව සිටීමට සිදුවීම ගැන සමාවෙන්න.

වෙනදා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වෙද්දි සටන් කළ ජනතාවගේ නිහඩ බව ඔබගේ ඉරණම හා සමානවම කණගාටුදායක ය. ඔබ වෙනුවෙන් අන්තර්ඡාලය තුළ සැරි සැරූ අන්තර්ඡාල පෙත්සම යොමු කර ඇත්තේ තරුණ ජනමාධ්‍යවේදීන් විසිනි.

ඔබට සිදුවන හිංසා සම්බන්ධයෙන් ලිපියක් ලියා අනෙක් වින්දිතයන්ගේ ද අත්සන් ඇතිව ලිපියක් එවා ඇත්තේ ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගයන්ගේ දියණිය වූ අම්හිංසා වික්‍රමතුංග ය. ඒ සියල්ලන්ම තරුණ පිරිස්. ඔබට ආදරය කරන ජනමාධ්‍යවේදී ඇතුළු කිහිප දෙනෙක් ඒ ගැන තවමත් ක්‍රියාත්මක වෙයි.

යහපාලන රජයේ මුල් පුටු සියල්ල ඔබ වෙනුවෙන් නිහඩය. හිටපු කතානායක කරූ ජයසූරියගේ ඇස් ඇරුණේ පවුලේ අයගේ ලිපිය නිසයි. නායකත්වය ලබාගැනීමට සඳහා විශාල උත්සාහයක් දැරූ විපක්ෂ නායකවරයා නිහඩව සිට ඔබගේ පපුවේ අමාරුව නිසා ඔහුගේ ද පපුව ගැහෙන්නට පටන් ගෙන තිබේ. මොවුන් සියල්ලන්ගේ යහපාලනය ජනතාව තුළ යම් පමණක හෝ ගෞරවය ආරක්ෂා කිරීමට ඔබගේ ක්‍රියාකාරිත්වය හේතු වූ බව ඔවුන්ට අමතකය. දේශපාලකයන් කොහොමත් කුහකය.

ඔබගේ වෘත්තීය නිහඩ බව පතන අය අතර, දේශපාලකයන්, කුඩු ව්‍යාපාරිකයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන් හා ආයතන, මිනීමරුවන්, නීතිවිරෝධී ඝාතනය කළ ආරක්ෂක අංශ නිලධාරීන්, වෘත්තීය සගයන් විශාල පිරිසක් සිටියි. ඒ නිසාම ඔබට නිදහස ලැබීම ගැන හෝ ආරක්ෂා සහිත සිටීම ගැන අපට ඇත්තේ සැකයක්.

එමෙන්ම තමන්ගේ වෘත්තිය ඉතිහාසය පවා දී නිදහස්වීමට ඔබට හැකියාව ඇති බවත් දනිමු. දැනට ඔබ දැඩි ලෙස තමන්ගේ වෘත්තිය ගරුත්වයත්, ආත්ම ගෞරවයත් ආරක්ෂා කරමින් සිටින බව අපි දනිමු.

තමන්ගේ සැමියාගේ, පියාගේ, සහෝදරයා පත්ව සිටින අසීරුතාවය ගැන දුක්වෙන සියළුම දෙනාට අපි කණගාටුව, වේදනාව හා කෝපය පළ කර සිටින්න.

නෙල්සන් මැන්ඬේලා වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් යුක්තිය උදෙසා දීර්ඝ අරගලයක් කර ඇත. ඔබ ඔහු හා සමාන නොවුනත් ඔබට දිනෙක යුක්තිය ඉටු වෙනතුරු අප ද බලා සිටිමු.

සුදේශ් ද සිල්වා

 

Social Sharing
නවතම විශේෂාංග