LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනේ හැම බන්ධනාගාරයක් වගේම නොසන්සුන් වෙලා. ඒකට සාධාරණ හේතු තියෙනවා. අපේ හැම බන්ධනාගාරයක් ම මීමැසි පොකුරු වගේ ඇහිරිලා. සාඩින් අහුරනවා වගේ තමයි සිරකරුවන් රඳවාගෙන හිටින්නේ. ඉතිං බන්ධනාගාර ගතකරලා ඉන්න සැකකරුවන් වගේම වරදකරුවනුත් මේ මොහොතේ බිය වීම සාධාරණයි.

ඒ එක සිරකරුවෙක් හෝ සැකකරුවෙක් හරහා බන්ධනාගාරය අස්සට කොවිඩ් මාරයා ආවොත් ගැලවීමක් නැහැ කියලා, මේ රැඳවියන් දන්නවා. මේ නව සාමාන්‍ය තත්ත්වය අස්සේ සිරකරුවන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඒ උද්ඝෝෂණ සහ ඉල්ලීම් මුලින්ම සිරකුටියෙන් එළියට ඇවිත් සමාජයට පෙනෙන්න ගත්තේ අඟුණකොළපැලැස්සේ රැඳවියන් සිරගෙදර වහලය මතට නැඟලා කරපු උද්ඝෝෂණය හරහා.

මේ විදිහට පසුගිය 23 වැනිදා හවස අඟුණකොළපැලැස්සේ සිර ගෙදර “ඒ” මැදිරියේ වහලය උඩට රැඳවියන් 10 දෙනෙකුත්, “සී” මැදිරියේ වහලය උඩට රැඳවියන් 5 දෙනෙකුත් නැඟලා තමයි මේ උද්ඝෝෂණය පටන් ගන්නේ. සිව්වස් සමාලෝචන‍ය ක්‍රියාත්මක කිරීම, අභියාචනා ඉක්මනින් විභාගයට ගැනීම, ඇප ලබා දීම වගේ තමයි ඔවුන්ගේ ඉල්ලීම් වුණේ. කොහොම වුණත් අඟුණකොළපැලැස්සේ මේ නැඟිටීමේ ආස්වාදය අනෙකුත් සිරගෙවල්වලට ද ඉක්මනින් පැතිර ගියා.

ඒ පැතිරීමට විශාලම හේතුව තමයි බන්ධනාගාරය අස්සට කොවිඩ් උග්‍ර විදිහට පැමිණීම. මේ සමග මහර බන්ධනාගරය, දුම්බර, වැලිකඩ, මීගමුව බන්ධනාගාර අස්සේ සිරකරුවන් සහ රැඳවියන් තුළ නොසන්සුන්තාවයන් පැතිරෙන්නට වුණා. ඒ නොසන්සුන්තාවය මුලින්ම පුපුරලා ගියේ මහර බන්ධනාගාරයේ කියලා කිව්වොත් ඒක තමයි හරි. වැලිකඩ බන්ධනාගාරයෙත් මේවනවිට රැඳවියන් ආහාර වර්ජනයක සහ වහලය මතට නැඟලා උද්ඝෝෂණයක නිරතව සිටිනවා.

මහර වෙඩි තැබීම

රැඳවියන් කියන ලෙස මහර බන්ධනාගාරය කියලා කියන්නේ දිගටම කෑම ප්‍රශ්න උග්‍රව තිබුණ තැනක්. දෙන දේවල් බල්ලෙකුටවත් කන්න බැහැ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම පහුගිය සතියකට වැඩි කාලයක ඉදලා මහර බන්ධනාගාරයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සෑහෙන්න ඉහළයි. රැඳවියන්ගේ එක ඉල්ලීමක් තමයි වැඩිපුර පීසීආර් කරන්න කියන දේ.

ඒ වගේම කොවිඩ් ආසාධිතයන් වෙනත් තැන් වලට මාරු කරන්න කියන දේ. ඒත් බන්ධනාගාර පාලනාධිකාරියෙන් මේ ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු ලැබෙන්නේ නැහැ. තත්ත්වය එහෙම තිබෙන කොට තමයි මහර රැඳවියන් 183 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා කියලා අනාවරණය වෙන්නේ. මේ නව තත්ත්වය එක්ක රැඳවියන් මීමැසි පොකුරට ඇවිස්සෙනවා.

සාඩින් ගානට රැඳවියන් 3000කට වැඩිව රඳවලා ඉන්න මහර බන්ධනාගාරය අස්සේ කොවිඩ් මේ විදිහට පැතිරෙන්න උනාම එහි රඳවලා ඉන්න රැඳවියන් බියට පත්වීම තේරුම් ගැනීම අමාරු වෙන්න බැහැ. ඒ බිය තමයි පසුගිය 29 වෙනිදා වෙනකොට ප්‍රචණ්ඩ විදිහට පුපුරලා යන්නේ. ආණ්ඩුව පාර්ශවය කියන්නේ රැඳවියන් බන්ධනාගාර නිළධාරීන් ප්‍රාන ඇපයට තියාගෙන උද්ඝෝෂණය කළා කියලා. ඒ වගේම ප්‍රධාන දහරාවේ මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කරන්නේ “බන්ධනාගාර කැරැල්ලක්” කියලා.

මේ කියවෙන විදිහට සිරකරුවන් කැරැල්ලක් ගහලා තියෙනවා. බන්ධානාගාර ආරක්ෂකයින් ඒ කැරැල්ල ව්‍යාර්ථ කරන්න වෙඩි තියලා තිබෙනවා. කොහොම වුණත් මේ ලිපිය ලියන 30 වෙනිදා උදේ 9.30 වෙනකොට නිළ වශයෙන් වාර්තාවෙන මරණ ගාන 6ක්. 37කට වැඩි පිරිසක් තුවාල ලබලා රාගම රෝහලට ඇතුල් කරලා තිබෙනවා. ඒත් මහරින් එන ආරංචි කියන්නේ මරණ ගාන මීට වඩා වැඩි වෙන්න පුලුවන් කියලා.

තවමත් වෙඩි හඬ

මාධ්‍ය වාර්තා කරන විදිහට නොවැම්බර් 30 වෙනිදා උදේ 8.30 වෙනකොටත් බන්ධනාගාරය අස්සෙන් වෙඩි සද්ද ඇහෙනවා. 30 වෙනිදා උදේ වෙනකොට මහර බන්ධනාගාරයේ රඳවලා සිටින රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය ඉස්සරහාට එනවා. ඒ තමන්ගේ ආදරණීයන්ගේ ආරක්ෂාවට. වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවුණ වෙඩි තැබීම ගැන දන්න ඔවුන්ට, තමන්ගේ මිනිසුන් ගැන බය හිතෙන්න ඇති!.

කොහොම වුණත් මේ ලිපිය ලියන මොහොත වනවිට බන්ධනාගාරය අවට රැස්වුණ රැඳවියන්ගේ ඥාතීන් ඒ ස්ථානයෙන් ඉවත් කරන්නට පොලිස් විශේෂ කාර්‍ය බලකාය කටයුතු කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම වාර්තාවෙන විදිහට මේ වෙනකොට 50ක් පමණ රැඳවියන් ප්‍රමානයක් බන්ධනාගාරයෙන් පැන ගිහිං. බන්ධනාගරය ඇතුලත ස්ථාන කිහිපයක් ගිනි අරගෙන විනාශ වෙලා තිබෙනවා.

මේ සියලු දේවල්වලට බන්ධනාගාර පලනාධිකාරිය වඟකියන්න ඕනෑ කියලා තමයි සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ සුරේෂ් නන්දිමාල් මේ ලියුම්කරු සමග කතා කරමින් ප්‍රකාශ කළේ. ඔහු කියන විදිහට මහර බන්ධනාගාර පාලකයින් සිරකරුවන්ට සලකපු අමානුෂික ස්භාවය තමයි මෙයට හේතුව. ඊළඟට, ව්‍යාප්ත වෙන කොවිඩ් තත්ත්වය එක්ක සිරකරුවන්ගේ අදහස්වලට සහ ඉල්ලීම්වලට බන්ධනාගාර පාලකයින් ඇහුන්කන් නොදීම.

කොහොම වුණත් වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය මතකයට නඟමින් තවමත් මහර බන්ධනාගාරය උණුසුම්. මේ තත්ත්වය සමනය වනවිට තවත් පුද්ගලයන් කී දෙනෙක් ඝාතනයට ලක්වී තිබෙන්න පුලුවන්ද? LPL ක්‍රිකට් වසන්තය ඇතුලේ සිරකරුවන්ද මනුස්සයන් බව අමතක වන්නට පුලුවන් ය.

– කේ. සංජීව

Social Sharing
නවතම