නූතන පටාචාරා ඇයද?

ඇයගේ නම පද්මා වික්‍රමරත්නය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දෙවැනි දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. ඇය විවාහ වී සිටියේ ජෙරාඩ් මර්වින් පෙරේරා සමඟිනි. ඔහු කොළඹ නැව්තටාංගනයේ සේවය කළ අයෙකි. පද්මාගේ නිසලව තිබු පවුල් ජිවිතය උඩියටිකුරු වුයේ තෙවැනි දරුවාට මාස හයක් වන විටය.

ඒ 2002 වසරේ ජුනි 02 දාය. එවකට පද්මා හා ජෙරාඩ් පදිංචිව සිටියේ ගෝණගහ, මිහිඳු මාවත, ඇහැටුගහගොඩැල්ල, අංක 52/බී/ 2 යන ලිපිනය දරන ජෙරාඩ්ගේ නිවසේය. වත්තල පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ ජෙරාඩ්ව අත්අඩංගුවට ගනු ලැබුයේ ත්‍රි පුද්ගල ඝාතනයකට අවශ්‍ය සැකකරුවෙකු බව කියමිනි. වෙනත් ජෙරාඩ් නැමැති පුද්ගලයෙකු සිදුකර තිබු වරදට වත්තල පොලිසියට වැරදීමෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ පද්මාගේ සැමියාවය.

ජෙරාඩ්ව පොලීසියෙන් රැගෙන ගිය අවස්ථාවේ පද්මා හඬා වැටුණාය. කිරි දරුවන් තිදෙනෙකුත් සමඟ ඇයට පොලිසියට යන්න සිදු විය.

පොලිස් අත්අඩංගුවේදි අනේක වධහිංසාවන්ට, පහරදිම් වලට ලක් වි තිබු ජෙරාඩ්ව නැවත පද්මාට ලැබෙන්නේ ඇවිද ගැනිමටවත් නොහැකි පුද්ගලයෙකු ලෙසිනි.

පහුවදා අපි වත්තල පොලිසියට ගියහම එයාලට වුනේ වැරදිමක් කියලා ජෙරාඩ්ව ආපහු අපට භාර දුන්නා. ඒත් ඊට කලින් දවසේ අත්අඩංගුවට ගත්ත ජෙරාඩ්ව නෙමේ මට ආපහු ලැබුණේ. ඇවිදින්න බැරි, අත් දෙක වාරු නැති, කලු වෙච්ච, ඉදිමිච්ච ජෙරාඩ් කෙනෙක් යැයි පද්මා අදටත් සිහිපත් කරන්නීය.

එදා සිට පද්මාටත් – ජෙරාඩ්ටත් ලැබුයේ නරක කලදසාවකි. දරුවන් තිදෙනාත් බලා ගනිමින් පද්මාට සිදු වුයේ සිය සැමියාව සනීප කරගන්නට වෙහෙසිමටය. නවලෝක රෝහලේ තබාගෙන ජෙරාඩ්ට දවස් ගාණක් ප්‍රතිකාර කිරිමෙන් පසු යම්තාක් දුරකට සුවය ලබා ජෙරාඩ් නිවසට පැමිණියේ පද්මාගේ සිතට අස්වැසිල්ලක් ලබා දෙමිනි. කිසිදු රැකියාවක් නොකළ පද්මා පැය විසිහතරම කාර්ය බහුල වී තිබුණේ ජෙරාඩ්ගේ හා දරුවන් තිදෙනා වෙනුවෙනි.

මේ අතර ජෙරාඩ් තමන්ට වූ අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර සිටියේය. ඒහිදි වගඋත්තරකරුවන් ලෙස වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයා, උප පොලිස් පරික්ෂක සුරේෂ් ගුණසේන ඇතුලු නිලධාරීන් පිරිසක් නම් කර තිබුණි.

මෙම නඩුවෙන් ජෙරාඩ් ගේ මුලික  අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහු වෙනුවෙන් වන්දි ගෙවීමටත්, ජෙරාඩ් ප්‍රථිකාර ලබාගත් නවලෝක රෝහල් ගාස්තුව ද ගෙවීමට වග උත්තකරකාර පාර්ශවයට නියෝග විය.  ඒමෙන්ම, මෙම අමානුෂික පහරදීමට එරෙහිව වදහිංසාවට එරෙහි පණත යටතේ නඩු පවරන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිර්දේශ කෙරිනි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ජෙරාඩ්ට වදහිංසා කරනු ලැබූ පොලිස් නිළාධාරීන්ට එරෙහිව වදහිංසාවට එරෙහි පණත යටතේ 2003 වසරේ දී මීගමුව මහාධිකරණයේ නඩු පවරා තිබුනි.

මෙම නඩුවේ ජෙරාඩ්ගේ සාක්ෂිය ඉතා වැදගත් වන අතර, අදාලව සාක්ෂි ලබා දීමට නියමිතව තිබුණේ 2004 දෙසැම්බර් 12 දාය. නමුත් ඊට පෙර 2004 නොවැම්බර් 21 වෙනි දින මිනුවන්ගොඩ- කොටුව බස් රථයක ගමන් කරමින් සිටියදි ජෙරාඩ්ට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණෙ මහභාගේ ප්‍රදේශයේදීය.

පසුව සිදු කළ විමර්ශන වලදී අනාවරණය වුයේ මෙම ඝාතනය උප පොලිස් පරීක්ෂක සුරේෂ් විසින් මෙහෙයවා ඇති බවය. කෙසේ නමුදු අවසානයේ දරුවන් තිදෙනෙකු සමඟ තනි වු පද්මා ගෝණගහ නිවස වසා දමා පද්මාගේ මහගෙදර වු ගම්පහට ගියාය. මහ ගෙදර සිය බාල සහෝදරයාට අයත්ව තිබු අතර ඔහු එම අවස්ථාවේ පද්මාව අහක දැම්මේ නැත. මෙහිදී වසා දමා තිබූ ජෙරාඩ්ගේ නිවස පද්මාගේ නැඟනිය පදිංචි වීමට ඉල්ලා ගත්තේ අක්කා කැමති දවසක එන්නකෝ යන්න පවසමිනි.

මේ අතර මීගමුව මහධිකරණයේ පැවති නඩුවෙන් උප පොලිස් පරීක්ෂක සුරේෂ් ඇතුලු පිරිස නිදෝස් කොට නිදහස් විය. පද්මාට දැණුනේ මුලු ලෝකයම තමා ඉදිරිපිටට කඩා වැටුණා සේය. තමන්ට සිදු වු අසාධාරණය වෙනුවෙන්  පද්මා විවිධ අයගේ සහාය ඇතිව නැවත වරක් ඒම තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළාය.

මේ අතර නීතිපතිවරයා විසින් ජෙරාඩ් ඝාතණය කිරීම සම්බන්ධව මිනීමරැම් නඩුව මීගමුව මහාධිකරණයේ විභාග වූ අතර ඒහි තීන්දුව ලැබුණේ වසර දහයකට පසුවය. ඒ 2015 වසරේදිය. එම තීන්දුව මගින් ඉහත පොලිස් නිළධාරියා ඇතුල ජෙරාඩ්ගේ ඝාතකයින් දෙදෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් මරණ දඬුවම ලබා දෙනු ලැබීය.

එමෙන්ම වසර 17 කට පසුව ජෙරාඩ් මර්වින් පෙරේරාට වධහිංසා කිරීමට එරෙහි නඩුව 2019 දී අවසන් වුයේද චුදිතයින් දෙනෙකු වැරදිකරුවන් කරමිනි.

මේ සියලු ක්‍රියාදාමයන් අතර පද්මා සැබවින්ම සිටියේ නින්දත් නොයින්දත් අතරය. ඇයට රාත්‍රියේ ඇහැ පියවුනද මැවි පෙනෙන්නේ මෙම ඝාතණයට සම්බන්ධ නිලධාරීන් පැමිණ තමන්ට, තමන්ගේ දරුවන්ගේ ජිවිතයට අනතුරක් කරාවි යන බියය. වසර පහලොවකට ආසන්න කාලයක් කඩප්පයන් විකුණමින් තම ජිවිතය අසරණභාවයේ කොනටම තල්ලු වී සිටි පද්මා නිදහසේ හුස්මක් ගන්නට වුයේ 2019 න් පසුවය.

මේ අතර පද්මාගේ සොහොයුරා පද්මාට මහගෙදරින් පිටව යන ලෙස කියා ඇත්තේ පහුගිය දිනෙකය. එහිදී ඇය සිය නැඟනියගෙන් තමන්ගේ නිවස යළි තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. එහිදි නැඟනිය ඊට විරුද්ධ වී ඇත්තේ තමන් මේ නිවසේ වසර 13 ක් පදිංචිව සිටි බැවින් තමන්ටද මෙහි අයිතියක් ඇති බව පවසමිනි.

පද්මාට දැන් මුහුණ දිමට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ සිදුවිමකටය. ඇය නිවස ඉල්ලා පොලිසි ගියේ නීතියේ පිහිට පතමිනි. එහිදී නැඟනියට නිවසින් ඉවත් වීමට යම් කාලයක් ලබා දෙන ලෙස පද්මාට කියා ඇත. මේ අතර පද්මා සිය නැඟණියත් සමඟ එකඟතා ගිවිසුමක් සකසාගෙන එය අත්සන් කර ගැනිමට ගොණහේන නිවසට ගොස් ඇත. එහිදී ඇගේ නැඟණිය මන්නයක් අමෝරාගෙන විත් පද්මා සමඟ ගැටුම් ඇති කර ගෙන ඇති බව පැවසේ.

ඉන් නොනැවතුණු ඇය පද්මා තමන්ගේ ඉඩමට අයුතු ලෙස ඇතුල් වී පහර දුන් බවට පොලීසියට පැමිණිලි කර ඇත. මෙහිදී පද්මා දැඩි අසරණභාවයට පත්ව ඇත. ඒ තමන්ගේ නිවස අහිමි විමත්, තමන්ට මහ ගෙදරින් එළියට බැස යාමට ස්ථානයක් නොමැති වීමත් නිසාය. අද ඇය විශේෂ අවශ්‍යතා සහිත දරුවාට ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතර, ඇගේ මහලු මව හා පියාද බලාකියා ගන්නේද ඇය විසිනි.

සැමියෙකු නොමැතිව වසර ගණනාවක් පුරා අනෙක දුක්කම්කටොලු විඳ දරුවන් උස් මහත් කරමින් යන්තම් හිස එසවීමට තැත් කළ ඇය නැවතත් කඹලෙන් ලිපට වැටී අසරණ වී සිටියි.

Social Sharing
නවතම විශේෂාංග