ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාවය තව දුරටත්!

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් අද (29)  දිනයේද සිරමැදිරියක වහලය මත නැඟ සිටියහ.

පසු ගිය 23 දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරි දෙකක වහලවල් මත නැගි රැදවියන් 15 දෙනෙකු  විසින් මෙම විරෝධතාවය ආරම්භ කරන ලද්දේ වෙනත් බන්ධනාගාර වල සිටින රැදවියන් නිරෝධායනය සදහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගෙන එමට විරෝධය දක්වමින්ය.

පසුවී විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වෙනස් වූ අතර ඔවුන් පසුව ඉල්ලීම් කරන ලද්දේ ගොනු කොට ඇති අභියාචනා නඩු ඉක්මන් කරන ලෙසත් සිවුවස් සමාකාලය ක්‍රියාත්මක කරන ලෙසත්ය. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පවතින ජල ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙසද ඔවුන් ගේ එක් ඉල්ලීමක් වීය.

දින කිහිපයකට පසුව විරෝධතාකරුවන් ගෙන් පිරිසක් විරෝධය අතහැර තිබුනු අතර තව දුරටත් රැදවියන් කිහිප දෙනෙකු විරෝධතාවයේ යෙදෙමින් සිටිති.

බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරන්නේ විරෝධතාවයේ යෙදෙන සිර මැදිරියේ සිර කරුවන් සියල්ල වෙනත් සිර මැදිරියකට යොමු කොට ඇති බවයි. මේ වන විට විරෝධතාවයේ යෙදෙන රැදවියන්ට ආහාර හා පානීය ජල හිඟයක් පවතින බවද දැන් ගන්නට තිබේ.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම