ශ්‍රි ලංකානු රුපියල ආසියාවේ හොඳම කාර්යසාධනයක් පෙන්නුම් කළ මුදල් ඒකකය බවට පත් වේ!

පසුගිය දින නවයක් පුරා අඛණ්ඩව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල, පසුගිය සිකුරාදා (22) කැපීපෙනෙන ලෙස ශක්තිමත් වෙමින් ආසියාවේ හොඳම කාර්යසාධනයක් පෙන්නුම් කළ මුදල් ඒකකය බවට පත්ව ඇති බව Bloomberg පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.7කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය ලෙස සැලකේ.

මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ඉදිරියේදී ලැබීමට නියමිත මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ අපේක්ෂාව මත වෙළෙඳපොළ පාර්ශ්වකරුවන් සතුව තිබූ ඩොලර් අලෙවි කිරීමට පෙළඹීම මෙම ශක්තිමත් වීමට හේතු වූ බවයි.

කෙසේ වෙතත්, ඉරාන යුද වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ ආසියානු කලාපයේ බොහෝ මුදල් ඒකක දැඩි පීඩනයකට ලක්ව තිබූ අතර, මේ වසරේ දුර්වලම කාර්යසාධනයක් දැක්වූ මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ද පැවතිණි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය පෞද්ගලික වාහන ආනයනය මත රේගු බදු අධිභාරයක් පැනවීමට පියවර ගෙන ඇති අතර, මුදල් වෙළෙඳපොළේ අස්ථාවරත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වන බව ද ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව රජය අවධාරණය කරයි.

මේ අතර ලබන මැයි 26 වැනිදා ශ්‍රී ලංකා මහබැංකුව නවතම පොලී අනුපාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සහ ඉදිරියේදී ලැබීමට නියමිත විදේශ මූල්‍ය සහාය හේතුවෙන් රුපියලේ අගය ඉදිරි කාලයේදී තවදුරටත් ස්ථාවර විය හැකි බවයි.

Social Sharing
නවතම පුවත්