අපි කවදාවත් අම්මා මරාගත්ත පුතා ඉන්න පක්ෂයට එකතුවෙන්නේ නෑ.- මර්වින් සිල්වා

අපේ පක්ෂයේ අය කවදාවත් අම්මා මරාගත්ත පුතා ඉන්න පක්ෂයට එකතුවෙන්නේ නෑ. තාත්තා හැදුවා පක්ෂය විනාශ කරන්න. තාත්තට ඒක බැරිවුනා. නමුත් සජිත් ප්‍රේමදාස පුතාට ඒක කරන්න පුළුවන් වුනා.  ඒ පක්ෂයේ අයට නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙන්න පුළුවන් යැයි හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ මර්වින් සිල්වා මහතා පැවසුවේය.

කොරෝනා උවදුරින් මව්බිම ආරක්ෂාවේවා යැයි පතමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයින් එක්ව අනුරාධපුර රුවන්වැලි මහාසෑය ඉදිරිපිට ඊයේ (25දා) සවස පැවති අධිෂ්ඨාන පූජාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් කථාකල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා.

“රටට වෙච්ච විපත්තිය දුරුවෙන්න කියලා තමයි අපි මේ අධිෂ්ඨාන පූජාව රුවන්වැලි සෑරදුන් අභියස පවත්වන්නෙ. සිරිසංඝබෝ රජතුමාගේ සමයෙත් රත්ආක්ෂ කියලා රෝගයකින් අනුරාධපුරේ මිනිස්සු මැරිලා තිබ්බා. රජතුමා රුවන්වැලිසෑය අසලට ඇවිල්ලා සත්ක්‍රියාවක නිරතවෙලා තිබුණා.

මේ රට විනාශයෙන් විනාශයට පත්වෙන්න නොදී අපි රැක ගන්න ඕන. මේ ආණ්ඩුවට මම දොස් කියන්නේ නෑ. මොකද ආණ්ඩුව තවම දනගාන බඩගාන පොඩි දරුවෙක්. ඒ අයට ඡන්දය දීපු අය ඒ ගැන බලාගනී. මොකද අපි එයාලට ඡන්දය දුන්නේ නෑනේ.

මම සුනාමිය දවස්වල මිනිස්සු වතුරට ගහගෙන යන හැටි දැක්කා. අන්න ඒ වගේ තමයි මේ පාර එක්සත් ජාතික පක්ෂයත් සුනාමියට අහුවුනා වගේ ගහගෙන ගියේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිවුවා එතුමා නායකත්වයෙන් අයින්වෙලා යනවා කියලා. අපිත් කියන්නෙ එතුමාට නායකත්වයෙන් අයින්වෙලා යන්න යන්න කියලා.

දැන් පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා නම් කිරීමේ කටයුත්ත තියනවා. ඒකට හොදම සුදුස්සා පාර්ලිමේන්තුව පිළිබදව හසල දැනීමක් දැනුම් සම්භාරයක් තියන නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. පැරදුණ අයට දෙන්න ඕන නෑ කියන කථාව කියනව නම් ආණ්ඩුවත් ඒක කැඩුවනේ. ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් අපිටත් නෑ.

මම රුවන් විජේවර්ධන මහත්තයට මේ පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත්කිරීම පිළිබඳව කිසිදු කැමත්තක් නෑ. මෙතනදි විතරක් නෙමෙයි මම ඒක එතනදිත් කිවුවා. අම්මා මරාගත්ත පුතා ඉන්න පක්ෂයට අපේ පක්ෂයේ අය කවදාවත් එකතුවෙන්නේ නෑ. තාත්තා හැදුවා පක්ෂය විනාශ කරන්න. තාත්තට ඒක බැරිවුනා. නමුත් පුතාට ඒක කරන්න පුළුවන් වුනා. ඒ පක්ෂයේ අයට අපි සමග එකතුවෙන්න පුළුවන්. අපිත් එක්ක එකතුවෙන්න කියලා මම ආරාධනා කරනවා.

එයාලට මුල මතක නෑ මේ දැවැන්ත පක්ෂය නිසා තමයි ඒ අය හම්බ කරගත්තේ. මේ පක්ෂය නිසා තමයි එයාලා සුවිසල් මැදුරු හැදුවේ. නමුත් එයාලට දැන් ඒවා මතකනෑ. එක්සත් ජාතික පක්ෂය තරම් ජනතාවට වැඩකරපු වෙනත් පක්ෂයක් නෑ” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම