1990 සුව සැරියට කණකොකා හඬයිද?

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ වුයේ 2016 වසරේදීය. ඒ  ගාස්තු රහිත 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට ආරම්භ වීමත් සමඟිනි. එහි නිර්මාතෘ වුයේ  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. මෙය අපට ඉන්දියානු රජයෙන් ලැබුණු පරිත්‍යාගයකි.

මෙම සේවාව මුල් වරට 2016 ජූලි මාසයේදී දකුණ සහ බස්නාහිර පළාතේ ආරම්භ කළ අතර පසුව  ශ්‍රී ලංකාව පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.5 ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලබාදුන් අතර 2018 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ආරම්භ විය. 2019 ජුනි 23 දා සුවසැරිය ගිලන් රථ සේවාව  සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කළාය.

මෙම සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමත් සමග දිවයින පුරා 1990 සුවසැරිය ගිලන් රථ 297 ක් ක්‍රියාත්මක වු අතර සේවක සේවිකාවන් 1400 ක් ඊට යොදවනු ලැබිය.

මින් ගිලන් රථ 27 ක් ක්‍රියාත්මක වන්නේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලය.

දින 365 පුරාම දිවා රෑ කිසිදු ගාස්තුවක් අය නොකරමින් නොමිලේ සේවාව ලබාදෙන 1990 සුවසැරිය 2019 වසරේදී  නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System – EDM) සහ සුවිශේෂී 1990 ජංගම දුරකතන ඇප් සේවාවද හඳුන්වා දුන්නේය.

මෙම සේවාවේ මෙහෙයුම් කටයුතු සුවසැරිය පදනමට පැවරීමෙන් පසුව මෙම සේවාව මේ වනවිට මෙරට රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වෙමින් ඇත.

මෙම සේවාව නිසා ජිවිත දහස් ගණනක් මේ වන විට බේරා ගෙන ඇති අතර මෙම ගිලන් රථ තුල පමණක් දුරු ප්‍රසුති 80 කට වඩා සිදුව ඇත.

කොරෝනා වෛරසය සමඟද ජනතාව එක්ක කිට්ටු සම්බන්ධතා පවත්වන්නේ මේ සුවසැරිය ගිලන් රථ සේවාවය. මේ වන විට බොහෝ රෝහල් වල ගිලන් රථ රියදුරන් කොරෝනා රෝගින් නිවසේ සිට රෝහලට ගෙන යාමට මැලිවෙද්දි සුව සැරිය ගිලන් රථ ඒ කාර්යය නිසි අයුරින්, කැපවිමෙන් සිදු කළහ. 1990 ට දුරකථන ඇමතුමක් ලබා දි මිනිත්තු 12.58 ක් තුල අදාල පොලිස් ස්ථානයේ සිට රෝගියා අසලට පැමිණෙන මෙම සේවාව මුල්වරට මෙරටට ගෙන ආ අවස්ථාවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනතාවගේ අසා සිටියේ මේ ගිලන් රියට නැඟි කරන්ට් වැදි මැරෙනවාද? නැතහොත් ගිලන් රියේ නොගොස් දිවි බේරා ගන්නවාද කියාය.

නමුත් ඔවුන්ගේ චෝදනා අද පුස්සක් බවට පත්ව ඇත. අද ඔවුන්ගේ මුවින් කියවෙන්නේ මේ 1990 සුවසැරිය ගිලන්රථ සේවය ලබා ගන්නා ලෙසටය.

මේ සුවසැරිය ගිලන්රථ සේවකයින් මේ වන විට මුහුණ පා සිටින්නේ ගැටලු ගණනාවකටය. ඔවුන්ට මේ ගිලන් රිය තබා ගන්නට සිදුව ඇත්තේ ඇතැම් විට පොලිසියේ එළිමහනේය. වැස්සට, අව්වට සුවසැරිය  නිරාවරණය වෙමින් ඇත්තේය.

එමෙන්ම පහුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත් වූ සුවසැරිය සේවක සංගමයේ සභාපතිනිය වූ මයුමි ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා මැද ඔවුන්ට වැඩ කිරීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොමැති බවය.

පුද්ගල ආරක්ෂක උපකරණ ප්‍රමාණවත් නැතැයිද, අද ඔවුන්ට ඇඳ ගැනීමට සිදුව ඇත්තේ පොලිතින් වලින් සකස් කර ගත් ඇඳුමක්ද, මුහුණු ආවරණද සෝද සෝදා භාවිතා කළ යුතුව  ඇතැයි ඇය එහිදී ප්‍රකාශ කර සිටියාය. මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත් නැතහොත් ඉදිරියේදී මෙම සුවසැරිය සේවාව අහිමි වි යා හැකි බවද ඇය අනතුරු අඟවා සිටියාය.

මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්විම සම්පන්ධයෙන් මේ වන විට එහි සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද සුවසැරිය මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් විමසිමට අප සුවසැරිය මාධ්‍යස්ථානයේ නිලධාරින් සම්බන්ධ කර ගත් විට ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඒ පිලිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවය. ඒ ඊයේ (25) දිනය. නමුත් මේ වනතුරු ඒම මාධ්‍ය නිවේදනය නිකුත් වී නොමැත.

-ශානිකා-

Social Sharing
නවතම