වෛද්‍ය සැපයුම් අංශයෙත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවතට අනුව දිවයින පුරා සියලුම ​රෝහල්වලට ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයුම් අංශයේ සියලු සේවකයන් ඊයේ (23 වැනිදා) PCR පරීක්ෂාවකට ලක් කර ඇත. දිවයිනේ සියලුම රෝහල් සඳහා ඖෂධ ලබාගැනීමට දිනකට වාහන පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම පරිශ්‍රයට පැමිණෙන අතර මේ නිසා  එම වාහන සීමා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ආසාදිත පුද්ගලයන් පසුගිය සතියේ සිට සේවයේ නියුතුව ඇති බැවින් ඔවුන්ගේ පළමු පෙළ ආසාදිතයන් PCR පරීක්ෂාවට ලක්කර රෝහල්ගත කරන බවත් අවශ්‍ය වන්නේ නම් දෙවැනි පෙළ ආශ්‍රිතයන්ද පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද සිල්වා සඳහන් කර තිබුණි.

විශේෂයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයෙන් ඖෂධ ලබාගෙන ගිය පළාත් හා දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලවලටද රෝගය පැතිර යාමේ අවදානමක්ද මේ වන විට මතුව ඇත.

රෝගීන් 20,000 ඉක්මවන විට මරණ 90 ක් වාර්තා වී ඇත. සමාජයේ මහජනතාව අතර පමණක් නොව මේ වන විට පොලිසිය, බන්ධනාගාරය, හමුදාව, කර්මාන්තශාලා, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුලු කේෂත්‍ර රැසක පුද්ගයින්ට මේ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එමෙන්ම තවමත් ව්‍යාප්ත වෙමින් පවතියි.

පළමු කොරෝනා රැල්ලේදී මෙවන් පොකුරු රාශියක් බිහි වුයේ නැත. නමුත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වේ. මේ පුවතේ සඳහන් ආකාරයට වෛද්‍ය සැපයුම් අංශ සේවකයින්ට කොරෝනා ආසාදිත වේ නම් මෙය සුලුවෙන් තැකිය නොහැකිය.

මන්ද දිවයිනේ සියලුම සෞඛ්‍ය අංශ වලට වෛද්‍ය සැපයුම් බෙදා හරින මුලස්ථානය වන්නේ මෙය බැවිනි. මෙවැනි ස්ථානයකින් කොළඹ සිට යාපනය දක්වාම ව්‍යාපත් විමේ හැකියාවක් ඇත. මෙම පරිශ්‍රයට පැමිණෙන වාහන පමණක් සිමා කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කර ගත නොහැකි අතර එහි ඇති ද්‍රව්‍යද කොවිඩ් ආසාදිතයින්ගේ ස්පර්ශ නොවී තබා ගත යුතුව ඇත. එහිදී මෙහි සේවකයින් නිරෝධාන කටයුතු කරන්නේ නම් ඒ වෙනුවට අමතර කාර්ය මණ්ඩලයක් හෝ ගෙනවිත් තබා ගෙන මේ වෛද්‍ය සැපයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතුව ඇත්තේය.

කෙසේ වෙතත මීට පෙරද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා, සැලසුම් ඇතුළු අංශ ගණනාවක සේවකයන්ට කොවිඩ් 19 රෝගය වැලඳුණු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. නමුත් සෞඛ්‍ය අංශයේ කියා මෙය අඩු තක්සේරුවක් නොකළ යුතුය.

-ශානිකා-

Social Sharing
නවතම