වසංගත තත්වය තුලදීත් සෞඛ්‍යට වෙන්කල මුදලින් මිලියන 600ක් කප්පාදු කරලා – රවී කුමුදේශ්

මෙරට ඖෂධ නිෂ්පාදනය නිසා විශාල මුදලක් රටට අහිමි වෙමින් පවතින බව වැඩ කරන ජන බලයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

මේ අය වැය තුල වැඩ කරන ජනතාව වෙනුවෙන් අවධානය යොමු කර ඔවුන්ට විශේෂ සහනයක් ලබා දී නොමැති බව පැහැදිලිව දක්නට ඇති බවත් සමහර තැන් වල ඇත්තේ බොරු වලවල් සහ රැවටීම් වන අතර මේ විදිහට රට වැඩ කරන ජනතාවත් සමඟ ඉදිරියට ගෙන යාමට නොහැකි බවද ඔහු පවසයි.

බොහෝ අංශ වල ප්‍රතිපාදන කප්පාදු කර, බොහෝ  ක්‍රියාකාරීත්වයන් නවතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වැඩි කිරීම අනෙක් රටවල් වල මේ දිනවල සිදු කරන බවත් නමුත් අප මෙරට ඇති නිදහස් සෞඛ්‍ය සේවාව ගැන පාරම්බෑවත් පහුගිය අයවැයට සාපෙක්ෂව මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවාවට වෙන් කළ රුපියල් මිලියන 600 ක් කප්පාදු කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මිලියන 6000 ට අඩු ප්‍රතිපාදනයක් මෙවර අයවැයෙන් වෙන් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ සෞඛ්‍ය සේවාව වර්ධනය කිරීමද? නැතහොත් අභියෝග වලට මුහුණ දීමද සඳහා දෙන සහයෝගයක් වශයෙන්ද? කියා ප්‍රශ්න කර සිටින බවත් සෞඛ්‍ය සේවාවේ අද වන විට ගිය වසරේ නොතිබුණු වියදම් ගණනාවක් තිබෙන බවත් ඔහු පවසයි.

සාමාන්‍ය රෝගියෙක් පරීක්ෂා කිරීමට වුවද සම්පුර්ණ ආවරණ ඇදුම් කට්ටලයකින් සැරසිය යුතු බවත් එදා පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගත් ධනවතුන් පවා අද නිදහස් සෞඛ්‍ය සේවාවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට කැඳවිමට සිදුව ඇතැයිද, PCR පරීක්ෂණ වලට විශාල මුදක් වෙන් කිරිමට සිදුව ඇතැයිද  රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

ඒ නිසා අයවැයකින් මේ මුදල අඩු කිරීම ප්‍රායෝගික හෝ යථාර්ථවාදී නොවන බවද මේ ඇතුලේ යම් කප්පාදුවක් සිදු හැකි බවද  ඔහු අවධාරණය කර සිටියි.

PCR යන්ත්‍ර සම්බන්ධයෙන් අදටත් අප සිටින්නේ වසර 15 ක පැරණි තාක්ෂණය සමඟ බවත් නව තාක්ෂණය ගෙන්වන්නේ නම් ඊට ද ප්‍රතිපාදනයක් වැය වෙන බවත් රසායනාගාර සේවාව ගත් විට අද එහි ප්‍රතිපාදනය බින්දුව මට්ටමේ බවත් එහි ප්‍රතිපාදන ඇත්තේ ගෝලීය අරමුදලේ නැතහොත් ආසියානු සංවර්ධන අරමුදලේ  හෝ ලෝක බැංකු  අරමුදලේ වැනි වෙනත් ස්ථානයක බවද ඔහු කියා සිටියි.

ලෝක බැංකු අරමුදල ලබා දෙන්නේ ණයක් බවත් එය ලබා දෙන්නේද රසායනාගාර සේවාවවට අවශ්‍ය නිදිහට නොවන බව පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා පවසන්නේ ඇතැම් විට වැඩ කරන්නේ එහි ව්‍යාපෘති අධ්‍යක්ෂකලාට අවැසි පරිදි බවය.

මේ ලැබෙන ණය සහ අරමුදල් නිසියාකාරයෙන් කළමණාකරණය කිරීමටවත් මේ අයවැයෙන් අවධානය යොමු නොකිරීම තුලින් ඉදිරියේදී සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක් වෙන බවද දැනටමත් අපට අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය ඒක ගෙන්වීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බවත් රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මෙවර අයවැයෙන් යෝජනා කරන පරිදි ඖෂධ නිෂ්පාදනය මෙරට තහවුරු කිරිමට ඩොලර් මිලියන 550 ක් වෙන් කළ නමුත් ලාබෙට මිනිසුන්ට ඖෂධ නොලැබෙන බවත් සටන් පාඨ මෙන් බොරු කිවාට මේවා සිද්ධ නොවන බවත් සෙලජන් කියන ආයතනය දැනටමත් දේශිය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරන අතර එහි ඖෂධ තුනක් පමණක් නිෂ්පාදනය කිරීමට ගොස් රුපියල් කෝටි 70 ක් පමණ වසරකට මෙරටට අහිමි වන බවද රවී කුමුදේශ් මහතා පවසයි.

ඖෂධයක් නිෂාපදනය කළ විට ඊට අත්තිකාරමක් ලෙස සියයට 42 ක වට්ටමක් හිමිවෙන අතර මේ වට්ටම් දීම තුල මේ නිෂ්පාදනය රට තුල කරගෙන යාමට බැරි තත්ත්වයක් මතුව ඇතැයිද මේ සල්ලි නැවත ගලා යන්නේ කලු සල්ලි ලෙස යැයිද හෙතෙම පවසයි.

එමෙන්ම හෙද සේවාව සඳහා වෘත්තිය තත්වයක් ලබා දී උපාධි තත්ත්වයක් ඇති කරන බව අයවැයෙන් පැවසුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ ඇත්තේ හෙද සේවාව සඳහා පුහුණු පාඨශාලා වන අතර මොවුන්ට උගන්වනු ලබන්නේ උපාධිධාරි ආචාර්ය මණ්ඩලයක් නොවන බවත් ඒ් නිසා මේ සැරසෙන්නේ උපාධිය කප්පාදු කිරීමටද? නැතහොත් උපාධිය ඩුප්ලිකේට් කිරීමටදැයි ඔහු විමසා සිටියි.

අවශ්‍ය වන්නේ වට්ටෝරු උපාධියක් නොවන බවත්, විශ්ව විද්‍යාලයක පිළිගත් සුදුසුකම් සහිත උපාධියක් බවද ඔහු කියා සිටියි.

රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කරන්නේනම් මේ කළමණාකරණ ව්‍යුහයට කර ඇති අපරාධය නැවැත්විය යුතු අතර රාජ්‍ය පරිපාලන අංශය අද වන විට දේශපාලඥයින්ගේ උවමනාවට පුද්ගලයින් එහාට මෙහාට වන තැනක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත හොත් වසරකට එහි ලේකම්වරු දෙදෙනෙක් හෝ තිදෙනෙක් පත් වන බවත් මේ සියල්ල රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කිරිමට බාධා වන දේවල් බවද ඔහු පවසයි.

2020-01-01 සිට වැටුප් වැඩි වීමක් තිබුණද එය කප්පාදු කළ බවත් මේ අයවැයෙන් කිසිදු රජ්‍ය සේවකයෙකුට වැටුප් වැඩිමික් හෝ දීමනාවක් ලබා දී නැතැයිද රාජ්‍ය අංශය සවිමත් කරන්නේ නම් මේ රාජ්‍ය සේවකයින්ට සරිලන වැටුපක් ලබා දීම රජයේ වගකිමක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

සංවිධාන 50 කින් පමණ සමන්විත වැඩ කරන ජනබලය සංවිධානය විසින් කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියේය.

-ශානිකා-

Social Sharing
නවතම