ලබා දුන් තීන්දුව සමස්ත රාජ්‍ය සේවයටම කළ ලොකු උදව්වක් – ලලිත් වීරතුංග

අභියාචනාධිකරණය තුලින් අද ලබා දුන් තීන්දුව තමන් දෙදෙනාට පුද්ගලිකව ලබා දුන් තීන්දුවක් නොවන බවත් එය සමස්ත රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ලබා දුන් තීන්දුවක් බව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

අධිකරණයක් තුලින් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියා ලොකු විශ්වාසයක් තිබුණු බවත් අපට තිබු චෝදනා වලින් සම්පුර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීම හුදෙක්ම මේ පුද්ගලයින් දෙදෙනෙකුට කළ දෙයක් නොවන අතර එය රාජ්‍ය සේවයටම කළ ලොකු උදව්වක් බව ඔහු පවසයි.

ඊට ප්‍රධානම කාරණය වන්නේ තමන් හා අනුෂට ලැබුනු තීන්දුවෙන් බොහෝ රාජ්‍ය සේවය අකර්මන්‍ය වූ බවත් සහෝදර නිලධාරීන් තීරණ ගන්න බිය වූ බවත් ඔවුන් තීරණ ගනු විනා සිදු කළේ ඒවා කල් දැමීම හෝ මඟහැර යාම පමණක් බවද ඔහු කියා සිටියි.

මෙම සිදුවිමෙන් පසු තමන් සමඟ මිත්‍රකම් පැවැත්වූ අයත් ඈත් වී ගිය බවත් නමුත් මේ තීරණය නිසා තමන් හා අනුෂ නිදොස් කොට නිදහස් කරන අතරම රාජ්‍ය සේවයට ලොකු ශක්තියක් පැමිණි බවත් නිවැරදි  තීරණයක් ගන්නා විට එහි කරුණු කාරණා හරිහැටි තිබේනම් ඒ ගත් තීරණය තමාට වාසියක් නොවි මහජනතාවට වාසියක් විය යුතු බවද ලලිත් වීරතුංග මහතා පවසයි.

මෙහිදී අදහස් දැක් වූ අනුෂ පැල්පිට මහතා කියා සිටියේ අද අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවෙන් සමස්ත රාජ්‍ය සේවකයින්ටම කොළ එළියක් දැල්වී ඇති බවය. තමන් හරි දේ, හරි විදිහට ඉටු කළහොත් තමන්ව ආරක්ෂා කිරීමට අධිකරණය සිටින බව ඔහු පවසයි.

ඔවුන් මෙම අදහස් පළ කර සිටියේ සිල් රෙදි නඩුව සම්බන්ධයෙන්  වරදකරුවන් කරමින්  කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත් හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට  මුදා හැරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළ අවස්ථාවේදීය.

2015 ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ  වැඩසටහනක් සදහා ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල්  වංක ලෙස සාවදය පරිහරනය කිරීමේ චොදනා සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා වලට වැරැදිකරුවන් වූ   හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචන පෙත්සම් ගොනු කර තිබුණි.

Social Sharing
නවතම