පොට පටලවාගත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනිල් ජාසිංහව යළි කැඳවයි.

අද වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 18000 කට ආසන්න වී ඇත. මරණ 66 කි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වන විට මරණ පැවතියේ 13 කි. ඒ අනුව ඔක්තෝමබර් 04 දා සිට අද වන විට මරණ 53 ක් සිදුව ඇත. මෙය ඉතාම බේදජනක තත්ත්වයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයේ සිටම ක්‍රියා කළේ ඉතාම අර්බුදකාරී අයුරිනි. පළමුව වෛදය පර්යේෂණායතනයේ සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාරව එම තනතුරින් පහ කර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරට පත් කරනු ලැබුණි. පසුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් රතු එළි දැල්වෙන විට මෙතෙක් කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොතිබුණු තනතුරක් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට ලබා දුන්නේය. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයයි.

ඔහුට එම තනතුර ලබා දුන්නද ඇතැම් අංශ වල වෛද්‍යවරු පසු වුයේ නොසතුටිනි. ඔවුන් කියා සිටියේ ජයරුවන්ටම කියා කරගන්න යනුවෙනි. මේ වන විට කොවිඩ් තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි දත්ත ලබා ගැනිමේ ස්ථානයක් පැවතියේද නැත. බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය හා ඉහළ නිලධාරීන් අතර සන්නිවේදනය වුයේ නැත. රජයේ වෛද්‍ය සංගමය මැදිහත්ව ඔවුන්ගේ දැඩි ඉල්ලිම මත පසුව කොවිඩ් තොරතුරු එකම තැනකින් ලබා ගත හැකි අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කළහ.

මේ අතර රසායනාගාර සේවවාව පැවතියේද දැඩි අර්බුදයකට ලක්වය. ඒ රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජයලාල් මහතා සම්බන්ධයෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ගැටළු ගණනාවක් මතුවීම සම්බන්ධයෙන් ඔහු වෛද්‍ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ හෝ රසායනාගාර සේවාවට අදාලව පැන නැඟෙන අවශ්‍යතා හා ගැටළු වෙනුවෙන් සාමුහිකව කටයුතු නොකිරීම හේතුවෙන් රසායනාගාර සේවාව බරපතල අර්බුධයකට ලක් වෙමින් තිබෙන බවත් ඔහු සම්බන්ධයෙන් චෝදනා 16 ක් ඉදිරිපත් කරමින්  පහුගියදා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ලිපියක් ජනාධිපතිවරයාට යවා තිබුණි.

මෙහිදී ඔහුට එල්ල වූ බරපතලම චෝදනාව වුයේ PCR පරීක්ෂණ නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙනි. ඒ අනුව ඔහුවද එම තනතුරින් ඉවත් කර නව නියෝජ්‍ය අධ්‍යක්ෂක  ජනරාල්වරයා ලෙස වෛද්‍ය එස්.කේ. රත්නායක මහතා පත් කිරීමට රජය පියවර ගෙන තිබුණි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලෙස වැඩ බැලු ශ්‍රී ධරන් මහතා බවත් කර ඒ වෙනුවට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කලුබෝවිල රෝහලේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත් කෙරුණි.

මේ අතර ඔක්තෝම්බර්  (14) දින සිට කොවිඩ් 19 පාලනයට අදාල ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලිහී ගියේය. රටවටා සෞඛ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛ නිකුත් වුයේ කොවිඩ් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යට ලබා නොදෙන ලෙසය.

යලිදු වරක් සෞඛ්‍ය අමාත්‍යාංශය නැවත වරක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමු පවත්වන ලෙස දැනුම් දුන්නේය. ඒ් යම් සීමාවකට යටත්වය.  ඊට දින කිහිපයකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරව ඉවත් කෙරුණේය. ඒ සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුදැනුම මතය.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔඩු දුවමින් පවතින ගැටලුව වන්නේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල පිලිබඳවය. ඒ ඔක්තෝම්බර් 02 දා PCR පරීක්ෂණ වලට අදාලව ප්‍රතීක්‍රියක ගෙන්විමට ටෙන්ඩර් දමා ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෙනතුරු එය සලකා බලා නැති බවත් නමුත් ඔක්තෝම්බර් 29 දා ක්ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල ගෙන්විමට දැමු ටෙන්ඩරයට අනුව දින දෙකකින් ඒවා මෙරටට ගෙන්විමත් පිලිබඳවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සියලු පෙරළි, වෙනස්කම් ඔක්තෝම්බර් 06 දා සිට ආරම්භ වූ අතර අද එය පිලිතුරක් නැති ප්‍රශ්න වැලක් බවට පත් වෙමින් පවතියි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින් කියා සිටියේ  පෙර සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පිලිබඳව ද අඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනෙනා බවය.

සෘජු තීරණ ගන්නා, සියලු දේට බියකින්, සැකයකින් තොරව මුහුණ දිය හැකි චරිතයක් වූ ඔහු පහුගිය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ අයෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් සිදුවිය යුතු සියලු දේ ඉටු කරමින් සියලු දෙනාම සමඟ සුහදත්වයෙන් කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිසා සෞඛ්‍ය සේවයේ සියලු දෙනාට යම් වේදිකාවක් තනා දීමට හැකි විය. පහුගිය කොවිඩ් සමයේ ජනප්‍රියම චරිත වූයේ වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර පරිසර අමාත්‍යාංශයේ ලේකම්ධුරයට පත් කරනු ලැබුයේ පහුගිය අගෝස්තු 13 දාය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ  වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීමට කටයුතු කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසිනි.

2001 වසරේ සිට 2008 වසර දක්වා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අනිල් ජාසිංහ අනතුරුව දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල) රෝහලේ අධ්‍යක්ෂ ධූරයට පත් කෙරුණු අතර  හෙතෙම 2012 වසරේ සිට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස  කටයුතු කළ අයෙකි.

අද (18) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ මින් ඉදිරියට පැවැත්වෙන කොවිඩ් මර්දනය පිලිබඳ කාර්ය සාධක බලකායේ රැස්විම් වලට වෛද්‍ය අනිල් ජාසිංහ කැඳවන බවය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා අසන ලද පැනයකට පිලිතුරු දෙමිනි.  පරිසර අමාත්‍යාංශයේ ලේකම්ධුරය දරන අතරම ඔහුගේ සේවය යළි ලබා ගැනිමට තීරණය කර ඇත.

-ශානිකා-

Social Sharing
නවතම