මහින්ද දෙවියෙක් ද, කුමාරයෙක් ද?

මහින්ද සූර්‍ය දිව්‍ය රාජයා කියලා නිර්මාල් දේවසිරි මහාචාර්යතුමා කියලා තියෙනවා දැක්කා. ඊට කලින් මහේෂ් හපුගොඩත් ලියලා තියෙනවා දැක්කා මහින්ද කියන්නේ ලංකාවේ හුදී ජනයාට දෙවියෙක් කියලා.

මේ කතන්දර දෙකත් එක්ක මට හිතෙන දේ ලියන්න හිතුනා. මහින්ද තමයි අපිට අහුවෙන ඉතිහාසයේ හිටපු විචිත්‍රම දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතය ගොඩනැඟෙන විදිහ සමීපව නිරීක්ෂණය කරාම අද වැඩ සිටින මේ දෙවියා ගැන අපිට හිතාගන්න අමාරු නෑ.

කොහොම උනත් මහින්ද කියලා කියන්නේ පොත් ලියවෙන්න ඕනෑ චිත්‍රපටි හැදෙන්න ඕනෑ චරිතයක්. මාත් ආසයි මහින්ද ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඒක හීනයක් වෙන්නත් පුලුවන්.

කොහොම වුණත් මොන දේශපාලන විරුද්ධතා තිබුණත් මහින්ද කියන්නෙ මම ආසා කරන චරිතයක්. ඒ ආසාව හැදෙන්න මහින්ද බොහෝම ළඟින් ඇසුරු කරපු මිනිස්සු මහින්ද ගැන කියපු රස කතාත් හේතුවක්.

ලෝයර් මහත්තයෙක් විදිහට වැඩ කිරීම, ලෝ කොලේජ් එකේ කටයුතු, ජපුර විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ රැකියාවේ ඉදලා ශ්‍රිලනීපයේ ජීවිතය, අනුර බණ්ඩාරනායක සමග සමීප ඇසුර, ඊළඟට කම්කරු ඇමති වීමේ කතාව, කැබිනට් මණ්ඩලයේ සිටි ජනමාධ්‍යවේදීන් සමග සමීපවම කටයුතු කළ පුද්ගලයා වීම, 88/89 භීෂණ අවධියේදී මානවහිමිකම් පැත්තේ ඔහුගේ කටයුතු, චන්ද්‍රිකාගේ කාලයේ අගමැති ලෙස පත්වීම, ඊළඟට එල්ටීටීඊ ඡන්ද වර්ජනයක් හරහා ජනාධිපතිවීම, මුලින් සාමයට පක්ෂව කටයුතු කිරීම සහ පසුව යුද්ධයට නායකත්වය ලබාදීම යුද්ධය ජයග්‍රහනය කිරීම වගේ සිදුවීම් හරහා තමයි ඔහුගේ විචිත්‍ර දේශපාලන ඉතිහාසය ලියවෙන්නේ.

ඊට සමාන්තරව සමගාමීව ඔහුගේ කාමබැඳි මිතුරු බැඳි ජීවිතය ගලාගෙන යන විදිහ, ඔහු මිතුරන් ගැහැනුන් ඇසුරු කළ විදිහ, ඔහු තමන්ගේ ලබැදියන්ට මිතුරන්ට රාජ්‍ය යාන්ත්‍රනය අස්සේ හැසිරෙන්නට දීපු නිදහස, සල්ලි සොයන්නට බිස්නස් කරන්නට දීපු නිදහස, ඊළඟට ගමේ දුප්පතුන් අතරින් කොටසකට බිස්නස් කරන්නට සල්ලි සොයන්නට දීපු නිදහස, මේ සියල්ල තමයි ඔහුට මේ විචිත්‍ර දේශපාලන ඉතිහාසය උරුම කරන්නේ.

ඒ උරුමයම තමයි ඔහු දෙවියෙක් බවට වර්ණනා කරවන්නේ. මහරජානනී කියලා සිංදු කියවෙන්නේ ඒ උරුමය නිසයි.

දකුණේ රාජාවලිය බුදුන්ගේ වංශය සමග එකට මුහුවෙන්නේ එනිසාමයි. ඉන්දියාවේ ඇසෑමය පැත්තෙන් ආපු නාග වාංශිකයෝ ජාවා සුමාත්‍රා පැත්තෙන් ලංකාවට ආවා කියලා සාකච්ඡා වෙන්නේ ඒ උරුමය නිසා.

ඉතිං මේ සියල්ලම අරං එකට තියලා කියවනකොට මට නම් හිතෙන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ දෙවියෙක්ට වඩා කුමාරයෙක්ට සමීප අතිශ්‍ය මනුස්ස ගති තිබුණ මිනිහෙක් කියලා.

ඒ නිසාම මේ විචිත්‍ර දේශපාලන සත්වයා ගැන රණ ගී වලට අමතරව පොත් ලියවෙන්න ඕනෑ. චිත්‍රපටි නිපදවෙන්න ඕනෑ. ඔහු විශ්ව විද්‍යාලවල අධ්‍යයන විෂයක් වෙන්න ඕනෑ.

කවුරු හරි ලංකාවේ දේශපාලනය කරන්න හිතනවා නම්, ඔහුට අභිලාශයක් තියෙයිනම් ඇත්තටම ලංකාව වෙනස් කරන්න කියලා, ඔහු මේ චරිතය සමීපව අධ්‍යනය කරන්න ඕනෑ.

කේ . සංජීව

Social Sharing
නවතම