රාජපක්ෂ පවුලට හොඳම ටික, අනෙක් අයට රොඩු – කරුණාරත්න පරණවිතාන

මේ වෙනකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඉවරයි. අපි මෙතනින් අපේ කතාව පටන් ගම්මු..

2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුනේ සරත් වීරසේකර මහත්තය විතරමයි. අනෙක් සියලු දෙනාම ඒකට පක්ෂ වුණා. එයින් විශාල පිරිසක් අදත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කවුද ? විජේදාස රාජපක්ෂ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හවුල් ආණ්ඩුවක් හදන්න හේතුව හැටියට ඉදිරිපත් කළේ මේ 19 වන සංශෝධනය පාස් කර ගන්න තමයි ඒක කළේ කියලා.

අද 19 වන සංශෝධනය අහෝසි කරන්න කටයුතු කළ සියලු දෙනාමත් එදා මේකට පක්ෂව කටයුතු කළා. සංශෝධන ඉදිරිපත් කළා. එදා දිනේෂ් ගුණවර්ධනලා කතා කළ හැටි අපි දැක්කා. දැන් මොකද හදිසියේ 19 අහෝසි කළේ? එදා ඒ අය මේකට පක්ෂ වුණේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදියෝ නිසා නෙවෙයි. ඒ අයට තේරුණා වෙන ආණ්ඩුවක් ඇවිල්ලා ඒ අයට බලය නැහැ ඒ නිසා මොකක් හරි එකකට අත උස්සගන්න ඕනෑ කියලා.

හැමදාම මහින්ද රාජපක්ෂ කඳවුරට ඕනෑ වෙලා  තිබුනේ 1978 ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කරන්න නෙවෙයි, ජේ ආර් ජයවර්ධනටත් එහා ගිය ඒකාධිපති ලක්ෂණ ඒකට එකතු කරන්න. ඒකට තමයි ඒගොල්ලෝ 18 වන සංශෝධනය ගෙනාවේ. 17 වන සංශෝධනය වුණත් මහින්ද රාජපක්ෂ මහත්තයා උල්ලංඝණය කළා.

19 වන සංශෝධනයේ අඩු පාඩුකම් තිබුණා. ඒක මමත් පිළිගන්නවා. ඒවා යම් යම් තාක්ෂණික අඩුපාඩුකම්. බලකේන්ද්‍ර හදා ගැනීමේදී යම් යම් ප්‍රශ්න තිබුණා. ඒ වුණාට ඒ තාක්ෂණික ගැටලු විසඳාගන්න අපිට හොඳටම ඉඩ තිබුනා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා නම් ඒවා විසදා ගන්න පුළුවන්. දැන් මේ කළේ 19න් ඇති වුණ ප්‍රජාතන්ත්‍රවාදී අවකාෂයන් සියල්ල විනාශ කර දැමීම.

1978 ව්‍යවස්ථාව අහෝසි කරනවා කියලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහින්ද රාජපක්ෂලා, මෛත්‍රිපාල සිරිසේනලා, එක්සත් ජාතික පක්ෂය නොවන රටේ වැඩි දෙනෙක් කිව්වේ. අන්තිමට එක්සත් ජාතික පක්ෂයම තීරණය කලා 1978 ව්‍යවස්ථාවෙන් අයින් වෙලා පාර්ලිමේන්තුවට වැඩි බලය ලැබෙන ව්‍යවස්ථාවකට යනවා කියලා. නමුත් දැන් මේ කරන්නේ 1978 ව්‍යවස්ථාව නැවත ක්‍රියාත්මක කිරීමක්.

මේ හදන්න යන්නේ ඒකාධිපති ආණ්ඩුවක් කියලා අපි කිව්වා. ඔහොම තමයි ජේ ආර් ජයවර්ධනලත් කල්පනා කළේ. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න, රටේ ස්ථාවර භාවය හදන්න, ශක්තිමත් ව්‍යවස්ථාවක් ඕනෑ කියලා හදාගත්තා. අන්තිමට මොකක්ද ඒ පාලනය ඉතිරි කළේ. විශාල තරුණ කැරල්ලක්, තිස් අවුරුදු සිවිල් යුද්ධය, අසහනය, මර්දනය, භීෂණය තමයි ඉතුරු වුණේ. උනුන් කා කොටා ගන්නා ස්වමාංශ භක්ෂක සමාජ රටාවක් තමයි ඒ තුළින් අපිට ඉතිරි වුනේ. දැන් අපි ආයෙමත් එතනට ගිහිං. ජනතාවට අපි මේ අනතුර පෙන්නුවා.

කොමිසන් සභා ගෙන්න කලින් මේ රටේ මැතිවරණ පැවැත්වුණ විදිහ අපි දැකලා තිබෙනවා. මැතිවරණ දූෂණ නවත්තලා අඩුම ගානේ ඡන්දේ දවසේ පමණක්වත් මැතිවරණය සාධාරණව පවත්වන්න පුළුවන්කමක් ලැබුනේ මැතිවරණ කොමිසම පිහිටුවීම නිසා. අද මැතිවරණ දූෂණ සිද්ධ වෙන්නේ ජනමාධ්‍ය ඇතුලේ විතරයි. මැතිවරණ කොමසාරිස්වරයා මෙහෙයවන ඒ ඡන්ද ක්‍රමය අද සාධාරණව ස්වාධීනව කෙරෙනවා.

ඒ වගේම මේ රටේ අධිකරණය, එයට දේශපාලන ඇගිලිගැසීම් හරිම අඩුයි. ශිරාණි බණ්ඩාරනායක ගෙදර ඇරියේ ඒගොල්ලෝ ලියලා දීපු නඩු තීන්දුව කියෙව්වේ නැහැ කියලා. අද එහෙම තත්ත්වයක් නැහැ. විනිශ්චයකාරවරු බය නැතිව තමන්ගේ තීන්දු දෙනවා. ඊළගට රාජ්‍ය සේවය, පොලිසිය සාපේක්ෂ ස්වාධීනත්වයකින් වැඩ කරගෙන යන්න පටන්ගත්තා විතරයි.

ඊළගට අපි මැදිහත් වෙලා ගෙනාවා තොරතුරු දැනගැනීමේ පනත. ඒක මහජනයාගේ පනතක්. හැමදාම අණ පනත් ගෙනාවේ මිනිස්සු ඇද බැඳ තබා ගන්නයි. ඒත් රාජ්‍ය යන්ත්‍රණය මහජනයා විසින් ඇද බැඳ තබා ගන්න තමයි තොරතුරු දැන ගැනීමේ පනත ගෙනාවේ. එයින් මානව හිමිකම් ශක්තිමත් වුණා. තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවටම පත් කළා.

ඊළගට පාර්ලිමේන්තුව බලවත් කළා. එහෙනම් ඇයි මේ බලවත් කරපු පාර්ලිමේන්තුව බලය නැති රබර් සීල් එකක් කළේ?  වර්තමාන පාලකයින්ට පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ. මේ අයට පාර්ලිමේන්තුවේ එකසිය හතලිස් ගානක් හිටියට, ආණ්ඩුව කරගෙන යන්නේ තුන් හතරදෙනෙක්. ඔවුන්ගේ අතට ව්‍යවස්ථාධායක හා විධායක බලතල සංකේන්ද්‍රණය කර ගන්න එක තමයි මේ කළේ. මේක ලංකාවේ ප්‍රජාතනත්‍රවාදය විෂයේ බරපතළ තත්ත්වයක්. රට ආපස්සට හැරවීමක්.

පහුගිය කාලයේ චීන සහ ඇමරිකානු බලවතුන් තරඟයට වගේ ලංකාවට ආවා. අනෙක් පැත්තෙන් ඉන්දියාවත් ඇමරිකාව පසුපස ඉන්නවා. මේ තත්ත්වය තුළ රාජපක්ෂ ආණ්ඩුව කෙසේ හැසිරෙයිද?

මේ ආණ්ඩුව ගෝලීය දේශපාලන බලවතුන්ගේ රූකඩයක් බවට පත් වෙලා ඉවරයි. දැන් තිබෙන්නේ ආර්ථික යුද්ධයක්. එහි ගොදුරෙක් බවට අපේ රට පත් වෙනවා. එහි ඒජන්තවරයා තමයි ආණ්ඩුව. මේ රට විශාල ණය උගුලකට ඇදලා දැම්මේ රාජපක්ෂලා. එකදහස් නවසිය පනස් ගණන් වල ඉදලා අපේ රටේ රාජ්‍යයන් ණය ගත්තා. ඒ ණය ගත්තේ සහන පොළියට, රාජ්‍යයන් අතර අතර ඇති කර ගත් ගිවිසුම් වලින් සහ දීර්ඝකාලීනව ගෙවන පදනම යටතේ.

නමුත් රාජපක්ෂ යුගයේ තමයි ඔය වාණිජ ණය ගැනීම ආරම්භ වුණේ. ඒ කියන්නේ විදේශ බැංකු වලින් ගිණි පොළියට ණය ගැනීම ආරම්භ කරලා, ඒවා ක්ෂණික ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ නැති ක්‍රිඩාංගන හදන්න, විශාල සම්මන්ත්‍රණ ශාලා හදන්න, විශාල වශයෙන් කොමිස් ගන්න පුළුවන් දැවැන්ත යටිතල පහසුකම් වලට ආයෝජනය කළා. ඒ ණය දැන් ගෙවන්න වෙලා තියෙනවා.

මේක විශාල ණය උගුලක්. ඒ වගේම ඒ අයගේ වැරදි කළමනාකරණය, පවුල් පාලනය නිසා ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන අද සුදු අලි බවට පත් වෙලා. ඊට කළින් ශ්‍රී ලංකන් ගුවන් සේවය රටට වාසි ගෙනාපු ලාභ ලබපු ආයතනයක්. ඒ වගේම තමයි මේ අය පැකිලෙන්නේ නෑ රට විකුණන්න. මේ රටේ ඉඩම් සින්නක්කරව විකුණ්නේ රාජපක්ෂ ආණ්ඩුව. උදාහරණයක් හැටියට ගෝල්ෆේස් ඉඩම, හමුදා මූලස්ථාන ඉඩම. ඒ වගේම උල්හිටියේ, පැලවත්තේ අක්කර දහස් ගාණක් ඇමෙරිකානු ඩෝල් සමාගමට සින්නක්කර විකුණලා දැම්මේ රාජපක්ෂලා.

තව බොහෝ දේවල් විකුණන්න සැලසුම් කරලා තිබුණා. 2015 ආණ්ඩුව ඇවිල්ලා තමයි ඒවා නතර කළේ. ගිවිසුම් වෙනස් කරලා බදු පදනමට අරගෙන, මේ රටේ අයිතිය තියා ගත්තේ මේ මට්ටමෙන් හරි 2015 ආණ්ඩුව. නමුත් මේගොල්ලෝ උද්ඝෝෂණ අරන් ගියා අපේ ආණ්ඩුව රට විකුණනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ. ඔවුන්  අටවපු ණය උගුලේ ඔවුන්ම අද අහුවෙලා.

තව තවත් පොරොන්දු වෙලා තියෙන දැවැන්ත ව්‍යාපෘති කරන්න තව තවත් ණය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ණය වෙනුවෙන් ඇත්තටම අපේ මේ වරායන්, භූ දේශපාලනික උපක්‍රමික වැදගත් කමක් ඇති වෙරළබඩ ස්ථාන, ලොකු ඉඩම්  විකුණනවා ඇරෙන්න වෙන දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ අය දේශප්‍රේමයේ නාමයෙන්ම ඒවා කරයි. එහෙම නැතිව පොරොන්දු වෙලා තියෙන ආර්ථික සංවර්ධනය ලගා කර ගන්න අමාරුයි. මේ අය රටට කපපු ණය උගුලේම මේ අය අහුවෙලා තියෙනවා. මේ මාර්ගයේම තමයි මෙයාලට යන්න වෙලා තියෙන්නේ. දැවැන්ත ආර්ථික පීඩනයක් අපේ රටට එයි. අවසාන වශයෙන් අපේ රටේ ස්වාධීනත්වය අපට අහිමි වෙලා යාවි.

ඉදිරි දශකයේ ලංකාවේ විපක්ෂයක දේශපාලනය කුමන හැඩයක් ගනීද?

එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඉතිහාසයේ පක්ෂ වලට හිමි කාර්යභාරය අවසන් කරලා වේදිකාවෙන් බැස ගිහින් තියෙනවා. බලවත් පක්ෂයක් හැටියට දැන් තියෙන්නේ පොදුජන පෙරමුණ. ඒකේ ඔය උගත්තු වියත්තු අරවද මේවද කියලා කිව්වට ඒක සකස් වෙලා තියෙන ආකාරය බැලුවොත් එහෙම එකක් නැහැ. ඒක ලොකූ පවුලක්. ඒ පවුලේ ආධිපත්‍යය පිළිගන්නා ජාවාරම්කාර පැලැන්තියක් තමයි පොදුජන පෙරමුණ.

එයට එරෙහිව විකල්පයක් හැටියට තියෙන සමගි ජන බලවේගය ගත්තොත් එයට රටේ නැවත බලවත් දේශපාලනයක් හැටියට නැගී සිටින්නට නම්,  එක්සත් ජාතික පක්ෂයම වෙලා හරි යන්නේ නැහැ.  සමගි ජන බලවේගයට සිද්ධ වෙනවා වෙනත් භාෂාවකින් ජනතාවට කතා කරන්න. වෙනත් ශෛලියක් අත්පත් කර ගන්න.

ඒ වගේම තමයි තරුණ පරම්පරාව කවුරුවත් පසුගිය ඡන්දයේදි සමගි ජන බලවේගය වටා එකතුවී තිබුනේ නැහැ. තරුණ බලවේග විකර්ෂණය කර ගත්ත පක්ෂයක්. අවුරුදු පනහ හැට පැනපු මහලු අය තමයි මේකේ දේශපාලනය කරන්නේ. නැවත බලසම්පන්න පක්ෂයක් හැටියට නැගී සිටිනවා නම් සමගි ජන බලවේගයේ නායකයාගේ සිට සියලු දෙනාටම වෙනස් වෙන්න වෙලා තියෙනවා. අලුත් ශෛලියක්, ප්‍රතිපත්ති රටාවක්, ලෝකය දිහා බලන ආකාරයේ වෙනසක් ආදී මේ හැම ආකාරයේම වෙනසක් ඇති කර ගන්න අවශ්‍යයි.

අභියෝගය සුළුපටු එකක් නොවෙයි.  80-90 දශකයේ ප්‍රතිපත්ති හෝ තාත්තගේ ප්‍රතිපත්ති හෝ බාප්පගේ ප්‍රතිපත්ති සමග නොව ලොකු වෙනසක් සහිතව ඉස්සරහට යා යුතුයි.

ඒ වගේම මේ යන ඒකාධිපති වියරු ගමනට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිසුන් ඒකරාශී කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් හැටියට සමගි ජන බලවේගය වැඩ කළ යුතුයි.

වර්තමනා ජනධිපතිවරයා ඡන්දයට කළින් ජනතාවට පෙන්නුවේ තමන් තමයි ස්මා‍ර්ට් ම නායකයා කියලා. එහෙත් කිව්ව තරම්ම ස්මාර්ට් නැහැ නේද ?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයත්, එතුමා වටා ඉන්න උගත්තු වියත්තු මොනවා කිව්වත් එහෙම සිස්ටම් චේන්ජ් එකක් වෙන්නේ නැහැ. කලින් තිබුණ රාජපක්ෂ සිස්ටම් එක තමයි නැවත ඇවිත් තහවුරු වෙන්නේ. මුල් රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යාංශ බෙදාහදා ගත්තේ කොහොමද ?  රාජපක්ෂ පවුලට හොඳම ටික. අනෙක් අයට රොඩු.

දැන් වෙලා තියෙන්නෙත් එහෙම. තමන්ගේ පවුලට ඉතාම හිතවත් අයට, විශ්වාසවන්ත අයට, රාජ වංශයට අභියෝගයක් නොවන අයට, තනතුරු වරප්‍රසාද බලය ලබා දෙනවා. යම් හෙයකින් වෙනස් වෙයි කියලා හිතන අය පාටියේ තියා ගන්නේ නැහැ. ඒ ගොල්ලෝ වාටියට දානවා. මේක පේන්න තියෙනවනේ. මෙච්චර කාලෙකට රටේ ලොකු සිස්ටම් චේන්ජ් එකක් වුනේ නැහැ.

ඒ වෙනුවට අපිට පේන්නේ රාජ්‍ය සේවයට මිනිස්සු පුරවන එක. 2015 ට කළින් තිබුණු මජර රාජපක්ෂ සිස්ටම් එකම තහවුරු වෙමින් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එහි ගොදුරක් බවට පත් වෙමින් යනවා. ඔහු අනෙක් රාජපක්ෂලාට වඩා ටිකක් වෙනස්. ඔහු සාටක දාන්නේ නැහැ. බොරු දේශප්‍රේමයක් පෙන්වන්නේ නැහැ. නමුත් ඔහු මේකේ හිරකාරයෙක් බව තමයි අපිට නම් පෙනේනේ. පස් ගල් වැලි ජාවාරම්කරුවන්ගේ සිස්ටම් එක තහවුරු වෙමින් තියෙනවා. මේකට වගකියන්න ඕන තමන්ට දීපු ජනවරම හරියට වටහා ගෙන එයට යුක්තිය ඉෂ්ඨ සිද්ධ නොකළ මෛත්‍රිපාල සිරිසේන මහත්තයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත්.

කේ. සංජීව

Social Sharing
නවතම සාකච්ඡා